සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අද (15 වැනිදා )යි. සිදුහත් කුමරයාගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූයේ අද වැනි වෙසක් පොහෝ දිනකය.
එමෙන්ම වෙසක් පොහෝ දිනයේ සිදු වූ තවත් සුවිශේෂී සිද්ධීන් රැසකි.
බෝසතාණන් වහන්සේ එක් භවයක සුමේධ නම් තාපසයකුව දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, බුද්ධත්වයට පත්ව දස මසකින් කිඹුල්වත් පුරයට වැඩම කොට ඥාතීන්ගේ මාන්නය දුරු කිරීමට මෙන්ම යමක මහා පෙළහැර පෑවේද අද වැනි උතුම් පොහෝය දිනයකයි.
බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමද අද වැනි දිනක සිදු විය.
බුද්ධත්වයට පත්ව අට වසරකට පසු මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයට අනුව කැලණියට වැඩම කිරීමද වෙසක් පොහෝ දිනයක සිදු විය.
එදිනම සමන් දිව්‍ය රාජ්‍යයාගේ ඇරැයුමෙන් උන්වහන්සේ සමනල කන්දට වැඩම කර දිවා විවරණ කළහ. මේ අනුව බුදුන්වහන්සේගේ තෙවැනි ලංකාගමනය ඇතුළු මෙරට ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක්ද වෙසක් පොහොයදා සිදු විය.
රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේද අද වැනිම දිනකය. එමෙන්ම, සිරිපා වන්දනා සමය අවසන් කෙරෙන්නේද වෙසක් පොහොය දිනයේදීය.
රට තුළ ආර්ථික අර්බුදයක් ඇතත්, තමන්ට හැකි අයුරින් සම්බුදු තෙමඟුල සැමරීමට බොදු ජනතාව සූදානම් වේ.
පසුගිය දෙවසරෙහි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වල සිටම වෙසක් දින ආගමික වතාවත්වල නිරත වූ බොදු ජනතාවට මෙවර එම වසංගත තත්වය පහවයාමත් සමඟ වෙහෙර විහාරස්ථානයන්ට ගොස් ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිව තිබේ.
ඉකුත් 2019 වසරේ දී දපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බොදු ජනතාවට වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිවෙස්වල සිටය.
ඒ අනුව මෙවර ජනතාවට නිදහසේ වෙසක් දින ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිවන්නේ තෙවරසකට පසුවය. වසර තුනකට පසු මෙවර රට පුරා විවිධ ස්ථානවල තොරණ කිහිපයක් ද ඉදිවෙමින් පවතින අතර, පිටකොටුව බෝධිය අසල සහ තොටළඟ ඉදිවන තොරණ ද මෙවර ඉදිකර ඇත.
රටපුරා විවිධ ස්ථානවල මෙවර දර්ශනීය පහන්කූඩු සහ වෙසක් කලාප ද ඉදිවෙමින් පවතී.
උපුටා ගැනීම - අරුණ
0 Comments