හැට හතර ලක්ෂයක් වූ විදුලි පාරිභෝගිකයන් අතරේ විදුලිබල මණ්ඩලයට කිසිම බරක් නොදෙන එකක 60ට අඩුවෙන් පාවිච්චි කරන තිස් එක් ලක්ෂයක සාමාන්‍ය පුරවැසියා බේරා ගැනීම සඳහා ඒකක 300ට වඩා වැඩියෙන් පාවිච්චි කරන ධනවතුන් හා ව්‍යාපාර ජාතික විදුලි පද්ධතියෙන් ඉවත්කළ යුතු බවත්, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ විදුලිබල මණ්ඩල සේවකයන්ගේ වැටුප් පිළිබඳව අධික්ෂණයක් සිදුකළ යුතු බවත් 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
බලශක්ති ප්‍රසම්පාදනයේ පවතින දුර්වලතා පිළිබඳව (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ රණවක මහතා පාර්ලිමේන්තුවේ ආරම්භ කිරීමට නියමිත නව ඉන්ධන ප්‍රසම්පාදන කාරක සභාවේ සභාපතිත්වය ලබාගැනීමට ද, තම කැමැත්ත ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
“2012 ඉඳන් විදුලි බිල වැඩි කරලා නෑ. ඒ වගේම ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම විදුලි කප්පාදුව පැය 13-14 ක් තිබුණු එක දැන් අඩුවෙලා තිබෙන බවත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදුලි කප්පාදුව අඩුවුනේ විශේෂ කළමනාකරණ හැකියාවක් නිසා නෙවෙයි, විදුලි ඉල්ලුම අඩු වුණු නිසයි. විදුලි ඉල්ලීමේ පසුගිය මාස 7 දිහා බැලුවහම 31% එකක් පමණ ජල විදුලියෙන් ලැබිලා තියෙනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. පසුගිය කාලයේ ඉතාම හොඳ ජල අස්වැන්නක් ලැබුණා. ගල් අඟුරු වලින් 30% ලැබිලා තියෙනවා ඒ ගල් අඟුරු පැරණි මිලට ගෙනාපු ඒවා. ඉතින් ඒ අනුව පුනර්ජනනීය බලශක්තියෙන් 9% ලැබිලා තියෙනවා. 78% ක්ම විදුලිය සපයලා තියෙන්නේ මේ තුනෙන්. එතකොට මේ අධික මිල සහිත බලාගාරවලින් 22%යි ලැබිලා තියෙන්නේ. ඒ අනුව, අද මේ විදුලි කප්පාදුව නතර වෙලා තියෙන්නේ ජල විදුලිය ඉතාමත්ම හොඳින් අපට ලැබීම සහ විදුලි ඉල්ලුම කඩා වැටීම නිසා වගේම අධික මිල සහිත බලාගාර අවශ්‍ය නොවීම නිසා, ඒක සතුටට කාරණයක් නෙවෙයි.
හුඟ දෙනෙක් ඩීසල් මාෆියාව ගැන කතා කරනවා. 2015 මේ මාෆියාවෙන් බැටකාපු මිනිහෙක් මමත්. මට ඒ ධුරය දරන්න 2012 ඉඩ දුන්නේ නෑ. මේ රටට ගල් අඟුරු ගෙන්නපු ඒ මාෆියා කාරයොත්, මේ ඩීසල් මාෆියා කාරයොත් එකතුවෙලා ඒ අමාත්‍යංශය අපිට කරන්න දුන්නේ නෑ. ඒ ගැන විස්තරාත්මක හෙලිදරව් කිරීමක්, ‘බලය හා බලය’ කියන කෘතියේ මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මේ රටේ සාහිත්‍ය සම්මානයත් ලැබුණු කෘතියක්. 2015 මම අමාත්‍ය ධුරය ලබා ගත්තම මට ඒ වගේ කිසිම බලපෑමක් එල්ල වුණේ නෑ. අපි ඉන්ධන ගැලපුම් ගාස්තු අයින් කළා. 13%කින් විදුලි බිල අඩු කළා. ඒ වගේම, පෙට්රල්, භූමිතෙල් මිල අඩු කළා. ඒවායින් කෝටි 6700 ක්, ටෙන්ඩර් පහක් නිසි ප්‍රසම්පාදනයට දැමීම නිසා, ඩීසල් රුපියල් 95ට පෙට්‍රල් රුපියල් 117ට දෙන්න අපට පුළුවන් වුණා. ඒ කෝටි 6700 කලින් ගියේ මේ මාෆියාකාරයින්ගේ සාක්කු වලට. ඒක අපි නැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි කල් ඉකුත් වෙලා දිගටම ඇදගෙන ගිය ඒ ඉන්ධන බලාගාර පහක් අපි නතර කරලා ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය හැටියටම ගියා. හැබැයි, මම ධුරයෙන් නැවත වෙනත් අමාත්‍යංශයකට ගිය හැටියේ අර බලාගාර නැවත ආවා. ලංකා විදුලිබල මණ්ඩලය අවසාන වශයෙන් ලාභ ලැබුවේ 2015. ඒ අවස්ථාවේ බිලියන 45 ක්, (කෝටි 4500 ක) පාඩුවක් අපේක්ෂා කළා. නමුත් සියලු දෙනාගේම සහයෙන් අපිට පුළුවන් වුණා කෝටි 2000 ක, (බිලියන විස්සක) ලාභයකට ඒක ගෙනියන්න. ඒ වගේම, අපි, විධිමත් අය ක්‍රමයක් යෝජනා කළා. මාස 6 න් 6 ට විධිමත් විද්‍යාත්මක අය ක්‍රමයක් ඛනිජ තෙල් වලට මාසෙන් මාසෙට. විදුලි බිලට මාස හයෙන් හයට යන්න ඕනේ. ඒ සඳහා යෝජනාවක් මං කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ අපේ ආණ්ඩුව. ඒක මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළෙත් නෑ. ඒ වගේම 2015 දී 2030 දක්වා ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ උපාය මාර්ගය අපි සකස් කරලා තිබුණා. ඒක අපි ක්‍රියාත්මක කරලා නෑ. යෝජනාවක් හැටියට විතරක් තියෙනවා. ඒ වගේම අය ක්‍රමයක්, එහෙම නැත්නම් විදුලි බිල තීරණය කිරීමේදී මොනවද අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග? එකක් තමයි මේ සාධාරණ වියදම ආවරණය කරගන්න ඕන. මේ වචනය දානවා ‘සාධාරණ වියදම ආවරණය’ අද මේ වියදමෙන් 50% ගිහින් තියෙන්නේ කොහෙටද?
ඊළඟට සමාජ සාධාරණත්වයේ මූලධර්මය තියෙන්න ඕනේ. ඒකක 60 අඩුවෙන් පාවිච්චි කරන ජනතාව ඉන්නවා 31ක් ලක්ෂයක්. හැට හතර ලක්ෂයක් වෙච්ච විදුලි පාරිභෝගිකයෝ අතරේ. මේ අයගෙන් කිසිම බරක් ලංකා විදුලිබල මණ්ඩලයට නෑ. ඇයි? මේ 31ක් ලක්ෂයම පාවිච්චි කරන්නේ මුළු බලශක්තියෙන් 6%යි. ඒ අනුව රු. 3.23 ට ලැබෙන ඒ ජල විදුලියෙන් 31% ජල විදුලිය පාවිච්චි කරලා තියෙනවා මේ කාලය තුල. පහසුවෙන්ම අර අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයට දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒකකය 800%කින් වැඩි කරන්න, ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරත්, ඒක බරපතල අසාධාරණයක්. මේ බව මම P.U.C.S.S.L.L . එකේ කරපු විභාගයේදීත් දැනුම් දුන්නා. රු. 3.23 ට දෙන්න පුළුවන්.
ඒ වගේම ආයතනික කාර්යක්ෂමතාවය. ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් බිල රුපියල් බිලියන 51 යි. ගිය අවුරුද්දේ විදුලි ඒකක ගිගාවොට් පැය 16,000 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා. වෙන වචන වලින් කිව්වොත් සෑම විදුලි ඒකකයකම රුපියල් 3ක් තියෙනවා විදුලිබල මණ්ඩලයේ 26000 කගෙ වැටුප් බිල. මේක ලෝකයේ සම්මත අනුව ගත්තත් ඉතාම විශාල අගයක්. අපට වඩා ඉතාම පහළින් විදුලිබල පද්ධති තිබෙන අයගෙත් මේ තත්ත්වය මේ මීට වඩා ඉතාම ඉහළින් තියෙන්නේ. ඒ නිසා ආයතනික කාර්යක්ෂමතාවය තියෙන්න ඕනේ. ආයතනික කාර්යක්ෂමතාවය, තාක්ෂණික කාර්යක්ෂමතාවය. දැන් උදාහරණයක් හැටියට ලංකාවේ විදුලිබල මණ්ඩලය යෝජනා කළා ඉලක්කයක් දුන්නා 2020 දි. හානිය ගේනවා කියලා ඒ කියන්නේ එක ගේනවා කියලා 7.5. හැබැයි අද කීයද? 8.9යි. වෙන වචන වලින් කියනවා නම් මේකෙන් අපේ ගිගාවොට් පැය 1500ක් අපතේ යනවා මේ හානියෙන්. එහෙනම් ඉලක්කයක් දෙන්න ඕනේ. විදුලිබල මණ්ඩලයටත් ඉලක්කයක් දෙන්න ඕනේ මේ වසරේ 8ට ගේනවා. ඊළඟ වසරේ 7ට ගේනවා. ආදී වශයෙන්. මොකද? අපි දැක්කා අපි 2010 මේක ගන්නකොට සමහර පැතිවල, නැගෙනහිර 33% තිබුණා. මේ හානිය. අපි මේවා ක්‍රමයෙන් තාක්ෂණික වශයෙන් මුල්‍ය වශයෙන් අඩු කරගත්තා.
ඊළඟට මුල්‍යමය ඉලක්ක තාක්ෂණික වශයෙන් ගත්තොත් අපි කියනවා විදුලි බිඳ වැටීම් වෙනවා. විදුලි බිඳවැටීමක් කීයක් වෙනවද? ඒ විදුලි බිඳ වැටීමකින් පස්සේ විදුලිය නැවත ස්ථාපිත කරන්න පැය කීයක් ගත වෙනවද? මේවා මත ඇගයීමක් විදුලිබල මණ්ඩලයට තිබිය යුතුයි. මුල්‍යමය කාර්යක්ෂමතාවය, මුල්‍යමය පිළිබඳ කඩඉම් ගණනාවක් අපි විදුලිබල මණ්ඩලයට අඳුන්වලා දීලා තියෙනව. කාර්යක්ෂමතාවය 2015 දී. ඒවා අඛණ්ඩව අපි ඇගයීමට ලක් කරපු නිසා, විදුලිබල මණ්ඩලය කෝටි 4,500 ක පාඩුවේ ඉඳන් කෝටි 2,000 ක ලාභයකට ගමන් කළේ. ඒ නිසා මම ඉල්ලනවා, ලංකාවේ විදුලිබල මණ්ඩලයට මුල්‍යමය හා තාක්ෂණික කඩයිම් හඳුන්වලා දීලා, අපි අඳුන්වලා දුන්න නවීනතම ක්‍රමවේදය අඳුන්වලා දීලා සෑම දෙපාර්තමේන්තුවක්ම,ආයතනයක්ම, හා පුද්ගලයෙක්ම, ඉහළ ගණයේ නිලධාරීන් අපි ඇගයීමට ලක් කරන්න ඕනේ.
ඊළඟට ජාතික ආර්ථිකයට තියෙන දායකත්වය. විදුලි ඉල්ලුම වැඩිවෙනවා නම් 50%කින්, ආර්ථිකයත් 50%කින් වර්ධනය වෙනවා. විදුලි ඉල්ලුම අඩු වෙනවා නම් 50%කින් ආර්ථිකයත් 50%කින් අඩු වෙනවා. ලංකාව මේ කලාපයේ හොඳ තත්ත්වයකට අපි ගෙනාවා. 2013 වෙනකොට 100% ක් අපි විදුලිය ලබා දුන්නා. ඒ වගේම ඉතාමත්ම කාර්යක්ෂම විදුලිය ලබාදීමේ ක්‍රියාවලීන් අපි අනුගමනය කළා. ඒ තමයි පුනර්ජනනීය බලශක්තිය. මං කණගාටු වෙනවා මං දැක්කා ඊයේ ප්‍රවෘත්ති වලට; වහල මත සූර්ය බලාගාර වලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දීපු ඩොලර් මිලියන 250 ක් ණය අත්හිටවලා ඒක වෙන වැඩ වලට යොදා ගන්න යනවයි කියලා. මේ සූර්ය බලය පාවිච්චි කිරීම 2010 ජූනි මාසෙදි මුල් වතාවට අත්හදා බැලුවේ මම ඇමති හැටියට. අර බී ඒ මහීපාල කියන ව්‍යාපාරිකයා. එතුමාගේ තනි පදනමෙන් තමයි ඒක කළේ. එදා හුඟ දෙනෙක් මේකට විරුද්ධ වුණා. නමුත් අද අද මෙගා වොට් 600ට ආසන්න ප්‍රමාණයක් අද මේ සුර්ය බලයෙන් යැපෙනවා. අද මේ රටේ ප්‍රශ්නයට මේ ඉන්ධන ප්‍රශ්නයට තියෙන ක්ෂණික හා වැදගත්ම විසඳුම තමයි මේ වහල මත සූර්ය බලය ලබාදීම. අද ඉන්නවා 539,000 ක්. මේ ඒකක 300 පාවිච්චි කරන නිවාස සහ ව්‍යාපාරික ආයතන. මේකෙන් ලක්ෂයක් අපිට පුලුවන් නම් මේ සුර්යබල තත්ත්වයට පත් කරන්න. ඒකට ඔය ඩොලර් මිලියන 250 හොඳටම සෑහෙනවා. මේ විදුලිබල පද්ධතියේ, මේ අර්බුදය, මේ ඛනිජ තෙල් අර්බුදය, මේ ඩීසල් අර්බුදය, මේ ගල් අඟුරු ප්‍රශ්නයට ලොකු විසඳුමක් අපිට ලැබෙනවා. පන්ලක්ෂ තිස් නමදාහක් ඉන්න අර ඒකක 300ට වඩා වැඩියෙන් පාවිච්චි කරන අය. ඒ අය නිසා තමයි ඩීසල් බලාගාර ඕන වෙන්නේ. ඒ අය නිසා තමයි මේ ඉහළ ගණයේ දැවිතෙල් බලාගාර ඕන වෙන්නේ. අනිත් මිනිස්සුන්ගෙන් එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒ අය මේ එකෙන් අපි ඉවත් කළොත් ඒ අයට ස්වාධීනව තමන්ගේ නිපදවීමේ අවස්ථාව, හැකියාව අපි ලබා දුන්නොත්; ඒ සඳහා මේ ආසියානු සංවර්ධන ආධාරය උපකාරය ලබා ගැනීම තමයි මේකට මේ මොහොතේ තියෙන විසඳුම. විදුලිබල මණ්ඩලයේ අධිකාරියටත් තියෙන විසඳුම ඒ වගේම රටේ ආර්ථිකයටත් තියෙන විසඳුම පුනර්ජනනීය බලයටත් තියෙන විසඳුම අනාගතයටත් තියෙන විසඳුම.
ඒ වගේම විදුලිබල මණ්ඩලය වෙන්කිරීම, එහෙම නැත්නම් Unbundle (අන්බන්ඩ්ල් – කොටස් වලට කැඩීම) කිරීම. මේ අන්බන්ඩ්ල් එකේ මේ ප්‍රශ්න විසදන්න පුලුවන්ද මේක යෝජනා වෙලා ක්‍රියාත්මක වුනා. 2002 වර්ෂයේදී ක්‍රියාත්මක වුනා කොටස් හයකට ලංකා විදුලිබල මණ්ඩලය කැඩුවා ජනන සම්ප්‍රේෂණ හා කොටස් හතරකට ලෙකෝ එකත් එක්ක කොටස් පහයි. අපට හිටියා සැපයුම්කරුවෝ නමුත් මේ අන්බන්ඩ්ල් එකේ කිසිම තැනක එක සමාගමක් නැත්තන් වෙන සමාගමකින් විදුලිය මිලදී ගැනීමේ හැකියාවක් නෑ, එතන ඉන්නෙත් තාමත් Single Supplier ඒක නිසා එවැනි තත්ත්වයක් ඒකෙන් උදාවෙන්නේ නෑ. ඇත්ත වශයෙන්ම සිදුවුණේ විදුලිබල මණ්ඩලයට මොකක්ද? අපි කියනවා Heavy Head එකක් අර ජී. එම්.ලා හත් දෙනෙක් පත් වෙලා. තව ලොකු වෙලා. කාර්යාල වැඩිවෙලා. අපේ වියදම වැඩිවුණු එක විතරයි වුණේ. ඒ නිසා විදුලිබල මණ්ඩලයට මුල්‍ය කාර්යක්ෂමතා කඩඉම්, තාක්ෂණ කාර්යක්ෂමතා කඩයිම් හඳුන්වා දෙන්න ඕනේ.”
0 Comments