ඉංග්‍රීසි භාෂාව එන්නත් කිරීමට සැරසේ...

 



ලබන වසර සිට පාසල් අධ්‍යාපනයේ ඇරඹුමේදීම ඉංග්‍රීසි භාෂාව එන්නත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහනක් සකස් කර ඇත. ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරයේ සිට එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව භාවිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පහ ​ශ්‍රේණියට එන විට චකිතයකින් තොරව දරුවන්ට ඉංග්‍රීසි භාෂා සන්නිවේදන හැකියාව ලබාදීම එම වැඩසටහන මගින් ඉලක්කර කර ඇත. එම වැඩසටහන අවධානයට යොමු විය යුත්තකි.

මෙරට පාසල් අධ්‍යාපනයේ ඉංග්‍රීසි දැනුම ඉහළ නැංවීමට අර ඇඳි පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙරද මහින්ද රාජපක්ෂ ජනපති යුගයේදී සාමාන්‍ය පෙළ වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීම පිණිස මූලික කටයුතු යෙදුණිද, කස හඬ හැරුණු විට පෙරහරක් එහි නොවීය. මේ අයුරින් නිසි ප්‍රතිකර්ම හෝ ක්‍රමවේදයන්​ නොයෙදීම නිසා අදටත් මෙරට රජයේ පාසල් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය අසමත්ය. පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වාම අවම වශයෙන් පුරා දශකයක් පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන නමුත් සාමාන්‍ය පෙළ වැඩිම පිරිසක් අසමත්වන විෂයක් බවට පත්ව ඇත්තේ ද ඉංග්‍රීසිය. පුරා දශකයක් ඉංග්‍රීසි ඉගෙනගෙන විභාගයේදී ලකුණු 35ක් ගැනීමට මෙරට දරුවන් බහුතරය අසමත් වන්නේ නම් ඒ කුමක් නිසාද යන්නට සැබෑ හේතුව විමසා බැලීම අධ්‍යාපන අමාත්‍යාංශය තවම කටයුතු කර ඇතිද යන්න අපට සැකයකි.

අපේ දැක්මට අනුව නම් මෙරට දරුවන් ඉංග්‍රීසි ඉගැනීමට මේ සා අසමත් වන්නේ අනෙකක් නිසා නොව, ඒ දරුවන්ට ඉංග්‍රීසි නමැති භාෂාවක ඇති වටිනාකම පහදාදීමට වැඩපිළිවෙලක් නොවීම නිසාය.

කුමන අයුරක හෝ ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නරක නොවන නමුත්, ඉංග්‍රීසි ඉගෙනගත යුත්තේ මන්දැයි දරුවන්ට පහදා නොදෙන තාක් අපේ රට දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම බිහිරි අලින්ට වීනා වැයීමකි. ඔක්කාරයට එන තිත්ත බෙහෙත් පෙවීමකි. ‘හැලපේනියාස් ඔතානියාස්’ කියන ඔච්චමක් පමණකි.

දරුවන් පමණක් නොව සමස්ත රට වැසියාට මේ වැදගත්කම කියාදීම ජාතික අවශ්‍යතාවක් මෙන්ම යුගයේ අවශ්‍යතාවක්ද වන්නේය.

එය ඔවුනට පහදා දිය නොහැකිද?

ලෝකයේ ජන සමූහයන්ගේ විවිධත්වය පිළිබඳ හොඳම උදාහරණය භාෂාවයි. ගෝත්‍රික භාෂාද ඇතුළුව ලොව භාෂාවන් 6500ක් පමණ භාවිත වෙතැයි සැලකේ. මෙකී ජන සමූහයන් එකිනෙකා අතර ගනුදෙනු කාලයාගේ ඇවෑමෙන් ඉතාම ප්‍රබල තැනකට පැමිණ ඇති අතර ජනසමාජ වශයෙන් ගත්විට ඔවුන් එකිනෙකා මත අතිශයින් යැපෙන තැනකට පැමිණ ඇත. ගෝලීයකරණය යන තනි වචනයෙන් හැඳින්වෙන මෙම ගෝලීය නැඹුරුවේදී එකිනෙකා අතර සන්නිවේදනයට පොදු භාෂාවක් අවශ්‍ය විය. ලෝකයට දිනක ඇරඹුම සටහන් කරමින් පළමු හිරු කිරණ වැටෙන නවසීලන්තයේ සිට එකී දිනයේ අවසානය සටහන් කිරීමට ආසන්නයේ වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් දක්වාම ලොව පුරා රටවල් රාශියක් විසින් භාවිතයට ගැනෙන ඉංග්‍රීසිය විසින් සපුරනු ලැබුවේ එකී අවශ්‍යතාවයි. ගෝලීයකරණය වැනි නැඹුරුවකින් ස්වායක්තව ජීවත්විය නොහැකි වර්තමානයක එකී ජීවන පැවැත්මේ ප්‍රබලම සාධකයක් බවට පත්ව ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි. පකිස්තානයේ හැදෙන බඳ පටියකට ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඇමරිකාවේ ගැනුම්කරුවෙක් සොයාගැනීම පිණිස යෙදෙන්නේද ඉංග්‍රීසි භාෂාවය. ඔස්ට්‍රේලියාවේ දුරකථන සිම්පතක් ගැන වැඩි විස්තර විමසන එරට වැසියකුට ඉන්දියාවේ සිටින යුවතියක විසින් අදාළ පැහැදිලි කිරීම කරන්නේ ඉංග්‍රීසි බසිනි. ගෝලියකරණය යටතේ ඉංග්‍රීසි භාෂාව පදනම් වූ දැවැන්ත භාණ්ඩ සහ සේවා වෙළෙඳ පොළක් සකස් වී ඇත්තේ එසේය. එම වෙළෙඳ පොළට අවතීර්ණ වීම යනු රටක ආර්ථික ස්ථායීතාවයේ අනිවාර්ය අවශ්‍යතාවකි. අප ඉංග්‍රීසි භාෂාව මගින් තනනුයේ එම ආර්ථිකය වෙත ප්‍රවේශය සලසන පාලමයි.

එපමණක් නොව අද අන්තර්ජාලයට පිවිසි විට එහි සඳහන් අන්තර්ගතයන් බහුතරය ඇත්තේද, ලොව සුවිශේෂී පොත්පත් ඇතුළු දැනුම් ගබඩාවන් සටහන් වී ඇත්තේද ඉංග්‍රීසි බසිනි. එසේම ලොව නිපදවන අපූර්වතම චිත්‍රපටවල උපසිරැසි පවා සටහන් වන්නේද ඉංග්‍රීසි බසිනි. ඒ අනුව ජීවිතය දිනන දැනුම මෙන්ම ජීවිතය විඳින රසයද ඉංග්‍රීසියේ රැඳී ඇත.

අප සමාජයට කියා දිය යුත්තේ මේ වටිනාකම​ නොවේද?

අද මේ රටේ පාසල් අධ්‍යාපනයෙන් පසු ඉදිරියට යෑමට ලැබෙන අවස්ථා තුනකි. එකක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි. තවෙකක් වන්නේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත්වීමයි. තෙවැන්න උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ගැළපෙන රැකියා ක්ෂේත්‍රයකට ඇතුළු වීමය. මේ අවස්ථා තුනේදීම ඉංග්‍රීසි භාෂා දැනුමේ අඩුපාඩුව විසින් දරුවන්ගේ ගමන් මග වළකාලන්නේය. ‘ඒ’ සාමාර්ථ තුනක් ලබා විශ්වවිද්‍යාලයට එන දරුවන් සිය විෂය ධාරාවට ඉංග්‍රීසි යෙදෙන තැන හමුවේ අසමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාරකර ගන්නා අවස්ථා කොතෙක්ද? රැකියා සම්මුඛ පරීක්ෂණය දක්වාම මේ තත්ත්වය පොදුය. නිසි කල් පැමිණෙත්ම දරුවන්ට මෙම තීරණාත්මක වැදගත්කම පහදා දිය යුතුය.

අප රටේ අධ්‍යාපන ක්‍රමයේදී එය සිදුනොවනවා පමණක් නොව භාෂාවක කුසලතාව සඳහා හේතුවන කියවීම, ලිවීම, ඇහුම්කන්දීම, කථනය යන කාරණා හතරෙන් අවසන් අංග දෙකම අමතක කර දමා ඇත. අප රටේ දරුවන් වෙනුවෙන් පිරිනමන විෂය නිර්දේශයද ‘එපා වාහෙට ​හොදි බෙදන්නා’ වැන්නකි. කෙමෙන් ගැඹුරට යන ඉංග්‍රීසි භාෂා විෂය නිර්දේශයක් මේ රටේ නැත. එය තැනින් තැනින් අහුලන ලද භාෂා අච්චාරුවකි. එය දරුවාගේ ඔළුව කුරුවල් කරන්නකි. විෂය එපා කරවන්නකි. එසේ හැදුණු විෂය නිර්දේශය රැගෙන පංතියට එන ඉංග්‍රීසි ගුරුවරු බහුතරයකට මේ විෂය ඉගැන්වීමේ කුසලතාව නැත. දරුවාට ඉංග්‍රීසිය වහ කදුරු වන්නේය. යම් ගුරුවරයෙක්ට ඉගැන්වීමේ කුසලතාව තිබුණ ද මේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පටවා ඇති මේ කෙහෙල්මල් ඉංග්‍රීසි විෂය නිර්දේශය දරුවාට ජීර්ණය වන පරිදි ඉගැන්වීමට ඔවුනට නොහැකිය. එසේම අපභ්‍රංශ ලෙසින් හෝ ඉගැන්වීමට ඉංග්‍රීසි ගුරුවරුද නැත. ඉංග්‍රීසි ගුරුවරයකු නැති පාසල් රාශියක් මේ රටේ ඇත. ඒ බහුතරය ඈත පිටිසර පාසල් හෝ වරප්‍රසාද නොලබන සමාජයේ දරුවන් බහුතරය ඉගෙනගන්නා පාසල්ය.

මේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ‘විකෘතිය’ විසින් මෙරටට දායාද කර දුන්නේ පංති භේදයක් පමණි. ඉංග්‍රීසි කථාකරන සහ ඉංග්‍රීසි භාෂාවෙන් සියලු නොහැකියාවන් වසංකරගෙන වැජඹෙන පැලැන්තියක් සහ උන්ට වෛර කරන හීනමානයකින් පෙළෙන පංතියක් බිහිකිරීම පමණි.



ඉංග්‍රීසි යනු ප්‍රායෝගික විෂයකි. පළමු ශ්‍රේණියට මේ හඳුන්වාදීමට යන්නේ ඒ ප්‍රායෝගිකත්වය නම් එය වටියි. එසේම භාෂාවක් ඉගෙනගැනීමට හොඳම වයස වන්නේ වයස අවුරුදු 1ත් 12ත් අතරය. ඒ අනුව මේ ඇරඹුම යෝජිත පරිදි ක්‍රියාත්මක වන්නේ නම් එය ගැළපෙන වයසකට ගැළපෙන සාත්තුවකි. ඉංග්‍රීසි අඳුරට නැගෙන ශාපයන් අතර එක පහනක් හෝ දැල්වීමකි.

Post a Comment

0 Comments