ඩීසල් මිල අඩුවීමේ වාසිය බස් මගීන්ට නොදෙන හේතුව...

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇමැතිවරයාට හෝ සවන් නොදීම නිසා බස් ගාස්තු 12% ක ප්‍රතිශතයකින් අඩු කිරීමට නොහැකි වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.


කොවිඩ් සමයේදී ආසනගතව පමණක් මගීන් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කරමින් බස් ගාස්තුව 20% කින් ඉහළ දැමූ අතර මීට මාස හයකට පෙර ඩීසල් මිල අඩු වූ අවස්ථාවේදී ඉන් 10% ක පමණ ප්‍රතිශතයක් අඩුකරමින් බස් ගාස්තු අඩු කිරීමට පියවර ගෙන තිබිණි.


කෙසේ නමුත් ඉන් පසු අවස්ථා හතරකදී පමණ ඩීසල් මිල අඩු වුවත් එකදු අවස්ථාවක හෝ ඉතිරි වී ඇති 10% ක ප්‍රතිශතය අඩු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබා දී නැත.


ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවස්ථා හතරකදී ලිඛිතව මෙම ඉල්ලීම සිදුකර තිබිණි. ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ අතර, සෞඛ්‍ය ඇමැතිවරයාද අවස්ථා කිහිපයකදීම ආසනගතව මගීන් ගෙන යාමේ නීතිය අවලංගු කිරීමේ ලිඛිත නියෝගය නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබිණි. එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.


ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත නියෝගයට අනුව වැඩි කළ 10% ක ප්‍රතිශතයද නිදහස් කරන්නේනම් පෙරේදා (30) රාත්‍රියේදී රුපියල් 15 කින් අඩුවූ ඩීසල් මිලෙහි ප්‍රතිශතයත් එකතු කොට 12% ක පමණ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුකිරීමක් කළ හැකි බවය.


ඒ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 2 කින් ඇතුළු සියලුම බස් ගාස්තු සහනදායි ප්‍රතිශතයකින් අඩුකිරීමේ හැකියාවක් පවතින බවය.


කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම සඳහන් කළේ පෙරේදා රාත්‍රියේ අඩුකළ රුපියල් 15 ක ඩීසල් මිල බස් ගාස්තු අඩු කළ හැකි 04% ක ප්‍රතිශතයට අඩු නිසා ගාස්තු අඩුකිරීමක් සිදුකළ නොහැකි බවය.

Post a Comment

0 Comments