අපේ රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ අදාල නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකමයි. දැනට අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වේ.
මේ නිසා මෙරට රටේ කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අප රටටම ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බව පෙන්වා දුන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව සඳහන් කළේය.
එමෙන්ම කොට්ටුකච්චිය ගොවිපළේ නිපදවන ලද කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද සඳහන් කළේය.
අප රටට අවශ්‍ය දෛනික ගව මස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 37,000කි. මෙම මස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. එමෙන්ම කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීය වශයෙන් නිපදවනු ලබන්නේ සියයට 40ක් පමණි. කිරි අවශ්‍යතාවයෙන් සියයට 60ක් සපුරා ගනු ලබන්නේ ආනයනය කිරීම මගිනි.
මේ නිසා වැඩි කිරි ප්‍රමාණයක් නිපදවා ගත හැකි තාක්ෂණය ගොවින්ට නොලැබීමත්, වැඩිපුර කිරි නිපදවිය හැකි ගව විශේෂයක් මෙරට තුළ නොතිබීමත් ප්‍රධාන ගැටළුවක් වේ.
අපේ පශු සම්පත් අංශ දැනට අවුරුදු පහකට කළින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ නම් මේ වනවිටත් අපේ රටට ගැළපෙන ගවයින් හා එළුවන් විශේෂ නිපදවා ගත හැකිව තිබුනා. නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගැනීම නිසා අද රටට අවශ්‍ය කිරි හා මස් ප්‍රමාණය අපිට ආනයනය කිරීමට සිදුව තිබෙනවා.
ඒ නිසා අපේ රටේ දේශගුණයට ගැළපෙන ගවයින් හා එළු විශේෂ දෙකක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ වහාම අරඹන්නැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
පසුගියදා පේරාදෙනිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේය.
0 Comments