රටට අවශ්‍ය සැබෑ සංධානය කුමක්ද ?

 

රටට අවශ්‍ය සැබෑ සංධානය කුමක්ද ?

හතු පිපෙන්නාක් මෙන් සංධාන ගොඩ නැගෙමින් තිබේ .මෙම සෑම සංධානයකම දේශපාලන  අරමුණ, උවමනාව හා ප්‍රතිපත්තිය මේ රට විනාශ කළ නවලිබරල්වාදී ආර්ථික මූලෝපායෙන් මිදීම නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිපදිමින් ඉදිරියටත් එම මාවතේම ගමන් කිරීමය.මෙය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදයේ නව ආර්ථික උපක්‍රමයයි.අද ලංකාව මුහුණ දෙන අර්බුදයට හේතුව මෙය බව දැන දැනම අධිරාජ්‍යවාදීන්ගේ හා ජාවාරම්කාර  සුපිරි පංතියේ ලාභය වෙනුවෙන් ඔවුන් කෙලින්ම පෙනී සිටී. රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්තිය සජබ ද පිළිගන්නා බව හර්ෂ පවසයි.මේ අනුව රනිල් හා සජිත් අතර ඇත්තේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්  නොවේ.දෙපාර්ශවයේ බලය බෙදී යා යුතු අයුර ගැන ආරවුලක් පමණි.ඒ අනුව රනිල් ,සජිත් සංධාන දෙකම පරාජය කළ යුතුය .

⁣එසේම චන්ද්‍රිකා හා සිරිසේන ගේ  සංධානයේ ආර්ථික දැක්මද නව ලිබරල් , IMF වැඩපිළිවෙළමය. චන්ද්‍රිකා හා සිරිසේන බලය දැරූ කාලයේ අධිරාජ්‍යවාදීන්ගේ සැලසුමට හා කොන්දේසිවල⁣ට මනා ලෙස ගැලපී එජාපයට වඩා හොඳින් ක්‍රියාත්මක වූ ආකාරය අපි දැක ඇත්තෙමු .ඒ නිසා කුමන ස්වරූපයෙන් ආවත් මේ පරණ වයින්ම බව ජනතාව දනිති. අනිකුත් සංධාන ද ගමන් කරන්නේ නව ලිබරල්වාදී මාවතේමය.

 එබැවින් අද රටට අවශ්‍ය සැබෑ සංධානය වන්නේ නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගයෙන් දුරස්වන, IMF වැඩපිළිවෙළට විකල්ප වැඩපිළිවෙළක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී , වාමාංශික හා ජාතිකවාදී නව බලවේගයක් සහිත සංධානයකි. එවැනි බලවේගයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය කාර්යභාරය ඉටුකිරීමට ඇති වගකීම මග හැරෙන පරිදි යම් පක්ෂයක් කටයුතු කරන්නේ  නම් එය මරණිය වරදකි. ලාංකීය සමාජයේ ඇති මේ දරුණු අර්බුදය විසඳීමට සුළු හෝ පියවරක් ගත හැකි වන්නේ අධිරාජ්‍ය වීරෝධී, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සහන වැඩපිළිවෙළක් මත ක්‍රියාත්මක වන ආණ්ඩුවකින් පමණි. ඒ සඳහා ආණ්ඩුවේ හා පොහොට්ටුවේ ක්‍රියාකලාපය ගැන කලකිරුණු ආණ්ඩු විරෝධී පළල් ජනතාව අතර මැදි වෙනත් ධනපති කූඩාරම් වලට තල්ලු  නොකර ඔවුන්  ඒකරාශි කරන්නා වූ පුළුල්ම වමේ ⁣සංධානයක් ගොඩ නැගීම ජාතික ජන බලවේගයේත්, සියලු වාමාංශික හා ප්‍රගතිශීලී පක්ෂ හා කංඩායම් වලත් අද දවසේ කර්තව්‍යයයි.

              ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජන ව්‍යාපාරය...

තවත් පුවත්: 

Post a Comment

0 Comments