රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි - ජනපති.


රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිම ඉඩක් නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අවධාරණය කරයි.

එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කඩවත බස් නැවතුම්පොළ අසලදී අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැලිය අමතමිනි.

"තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් අපි මෙම විප්ලවය ගෙන යනවා. මෙය ඔබ වෙනුවෙන් ගෙන යන විප්ලවයක් බව කිවයුතුයි. එය ඉදිරියට ගෙන යා යුතුයි. අපි ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. තව වසර 20කින් අපේ දළ දේශීය නිෂ්පාදන පස් ගුණයකින් වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. දැනටමත් අධ්‍යාපනයේ පුළුල් නවීකරණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන අතරම විශ්වවිද්‍යාල ඇති කර රටම ඩිජිටල්කරණයට ලක් කරනවා.

මේ රටේ අනාගතය දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රය අනුව සකස් කරන්න බැහැ. ඊට මම ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ආඩම්බර ජාතියක් ලෙස අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප රට තුළ වෙනසක් කළ යුතුයි. බොරු පොරොන්දු දී ඵලක් නැහැ.

දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට රට හදන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලනඥයන් කටයුතු කළ යුතුයි. ඒ නිසා අප සමග එක් වී ඉදිරියට යමු කියා මම සජිත් ප්‍රේමදාස මහත්මයාට මෙන්ම අනුර දිසානායක මහත්මයාට ආරාධනා කරනවා. අපි සියනුදෙනා එකතුවෙලා ඒ ගමන යමු."

තවත් පුවත් : 

Post a Comment

0 Comments