ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ අභාවය ගැන අපගේ සංවේගය.

 


වික්‍රමබාහු සහෝදරයා ලාංකාවේ වාමාංශික  ව්‍යාපාරයේ නව හැරවුමක මග පෙන්වූ උගත් බුද්ධිමත් අකලංක නායකයෙකි. ඔහුගේ දේශපාලන ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයන් වන්නේ වැඩකරන ජනතා ව්‍යාපාරය මුල්කර ගත් වාමාංශික දේශපාලන දර්ශනය ඔස්සේ ලාංකික සමාජය ජනඅරගල මාවතකින් රාජ්‍ය බලය කරා ගෙනයාමට ඉදිරිපත් කළ මතවාදයයි. එමගින් කඩිනම් දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනිීය ක්‍රියාදාමයකට  මුලපිරිය හැකි බවට ඔහු විශ්වාස කර,  ඒ වෙනුවෙන් නොසැලී මතවාදීව කටයුතු කලේය.

සමසමාජ ව්‍යාපාරයේ ලෙස්ලි, කොල්වින්, බර්නාඩ් ගෙන් පසුව න්‍යායත්මකව කරුනු පැහැදිලි කරදිය හැකි ප්‍රමුඛ පෙලේ වාමාංශික බුද්ධිමතකුගේ තලයට වික්‍රමබාහු සහෝදරයා පත් විය. ඔහු බි්‍රතාන්‍ය කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ලබා ගෙන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවෙරයෙක් ලෙස සිටිමින් තම දේශපාලන මතවාදයන් ඔස්සේ කටයුතු කලේය.  1978 ජනාධිපති ව්‍යවස්ථාවට විරෝධය පාමින් කලුකොඩි එසවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව රැකියාව අහිමිව පූර්ණකාලීන දේශපාලන දිවියට එක් විය. 

1980 මහ වැඩවර්ජනයේදී වැඩකරණ ජනතාවගේ බලය ඒකරාශී කර පාලක බලය පසුබැස්වීම ක්‍රියාවට නඟා පෙන්වීමට ඔහු මුල්විය. මහවැඩවර්ජනය මැදිකරගත් ජනඅරගලයක අත්දැකීම් වැඩකරන ජනතා සටන්කාමීන්ගේ සිත්සතන්තුලට කාවැද්දීම අගෝස්තු 8 සත්‍යග්‍රහ ව්‍යාපාරයෙන් පෙන්නුම් කලේය.  ජේ.ආර්.ගේ දක්ෂිනාංශික පාලනය බිඳ දමන තෙක් වටයෙන් වටය අත් අඩංගුවට පත්වෙමින්, පොලිස් ප්‍රහාරයන්ට ලක් වෙමින්  වික්‍රමබාහු සහෝදරයා කටයුතු කලේය.  ඔහු දේශපාලන බිමේ අභිෂේකයට පත් වන්නේ 1980 වර්ජනයේ සටන්කාමී කීර්තියත් සමග නව සමසමාජ පක්ෂය ජනගතවීමත් සමගය. 

වික්‍රමබාහු සහෝදරයාගේ න්‍යායික එකතු කිරීම් අතර වැදගත් කරුණ වන්නේ ජාතික ප්‍රශ්ණය විසඳා ගැනීමේදී දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිලිගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කර දී වෙනම රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ අන්තවාදී දිසාවට ගමන්කිරීම වලකා ගැනීම වෙනුවෙන් පෙනී සිටිමය. එසේම ශ්‍රී ල.නි.ප.ය පුපුරා යමින් විජය කුමාරතුංග කොබ්බෑකඩුව ඇතුලු පිරිස එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩ නැගීම දුටුවේ වැඩකරන ජනතාව එක්වූ වාමාංශික බලයක ඒකරාශීවීමක් ලෙසය. එම අදහස් මාලාවට විරුද්ධව පක්ෂයේ ඇතැම් පිරිස් වික්‍රමබාහුගෙන් වෙන්ව වෙනත් පක්ෂ හදා ගැනීමක් දක්වා විවාදය ගමන් කලේය. එපමණක්ද නොව ජාත්‍යන්තර සාකච්ඡාවන්හිදී තම මතය දැඩිව දරාගනිමින් කටයුතු කිරීම නිසා එම සංවිධානයන්ගෙන්ද වෙන්ව කටයුතු කිරීමට හැකි එඩිතරකමක් ඔහු පෙන්නුම් කලේය.   

1983 ජාතිවාදී කලකෝලහල හමුවේ නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ තහනම් කර නායකයින් දුටු තැන ඇල්ලීමේ නියෝගද නිකුත් කරන ලදි. අපව අල්ලා දෙන අයට තෑගි මුදල් ලබා දෙන ලෙසද ප්‍රසිද්ධ කලේය. වික්‍රමබාහු සහොදරයාගේ සුවිශේෂී හැකියාවන් දැක ගත හැකි වූයේ රාජ්‍ය අභියෝග භාර ගනිමින් සැගව සිට දේශපාලනය කිරීමට ගත් තිරණයත් සමගය.

උතුරේ යුද්ධය ඇවිලී යමින්, දකුනේ ජාතිවාදී ගැටුම් උත්සන්න වෙමින් විජය ඇතුලු වාමාංශික නායකයින් හා නිරායුධ ජනතාව ඝාතනය කරනු ලැබූ 88/89 භීෂණකාරී යුගයේදීය.  නායකයින්ගේ ආරක්ෂාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් මාවතකට එලඹීම සදහා පළාත් සභා සහිත ඒකීය රාජ්‍ය පදනම වෙනුවෙන් පෙනී සිටීම නිසා වික්‍රමබාහු සහෝදරයා කඩවත වෙඩි ප්‍රහාරයේදී  ජීවිතය ගැලවුනේ බරපතල තුවාල සිදු කරමිනි. එදා අප ගත් ස්ථාවරයන්ගේ  නිරවද්‍යභාවය මේවනවිට සැවොම පිලිගන්නා තත්වයකට පත්ව තිබේ. 

විප්ලවකාරි මාවතකින් සමාජ පරිවර්තනය සිදු නොවී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මාවතේ ජනතාව ඒකරාශී වෙමින් ගමන් ගැනීම ගැන වික්‍රමබාහු සහෝදරයාට දරාගත නොහැකි විය. ඔහු තම මතය සමග දැඩිව සිටීමත් ජනතා බිමේ වියෝවීමත්, එතැන් පටන් ඔහුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙමින් රෝගාතුර තත්වයකට ක්‍රමයෙන් පත්විය. 

වික්‍රමබාහු සහෝදරයා වාමාංශික ව්‍යාපාරයට එක්කල  ජාතීන්ගේ ගැටලුව විසදීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, අධිරාජ්‍යවාදී විදේශ ආධිපත්‍යයෙන් මිදීම, ගැමි ගොවි පුනරුදයක් ඇති කර ජාතික ආර්ථික ස්ථායිතාවක් ඇති කර ගැනීම ආදී කරුණු පිලිබද එක්කල න්‍යායික මතවාදයන් ඉදිරියටද වැඩකරණ ජනතාවටත්, නව මාවතක් වෙනුවෙන් සටන් කරන වාමාංශිකයින්ටත් හැදෑරීම සදහා බෙහෙවින් ප්‍රයෝජනවත්ය.  

වික්‍රමබාහු සහෝදරයාගේ වියෝවෙන් තැවෙන ආදරනීය භාර්යාව මංගලිකා හා දුවනිය බෑනනුවන් ඇතුලු ඥාති මිත්‍රාදි හිතවතුන් වෙත අපගේ පක්ෂයේත්, ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති සම්මේලනයේත්,  ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යසේවා වෘත්තිය සමිති සම්මේලනයේත් අප සමග කටයුතු කරන බහුජන සංවිධානවලත් ශෝකය පලකරමු.

 

වාසුදේව නානායක්කාර (පාම)                                                                                                      මධ්‍යම කාරක සභාව වෙනුවෙන්

Post a Comment

0 Comments