දේශීය තරග බිමේ දැක්වූ දක්ෂතා
2016 වසරේදී මිලාන් රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අතර එහිදී ඔහු සිය මුල් පෙළ දේශීය තරග දිවිය ආරම්භ කළේ ය.
දේශීය ක්‍රීඩා පිටියේදී මිලාන් රත්නායක මුවර්ස් ක්‍රිකට් සමාජය, කුරුණෑගල ක්‍රීඩා සමාජය මෙන් ම LPL තරගාවලියේදී ගෝල් ටයිටන්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් නියෝජනය කළේ ය.
පළමු පෙළ තරග 40කදී කඩුලු 81ක් දවා ගෙන ඇති ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 3.55ක් ලෙස සටහන් වෙයි.
පළමු පෙළ තරග බිමේදී මිලාන් රත්නායකගේ හොඳ ම පන්දු යැවීම ලකුණු 36කට කඩුලු 05ක් දවා ගැනීම ය.
දේශීය තරග බිමේදී ඔහු ක්‍රීඩා සමාජ, පළමු පෙළ සහ විස්සයි 20 තරගවලදී දවා ගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 152කි.
ජාතික කණ්ඩායමට ලැබුණු කැඳවීම
ශ්‍රී ලංකා ඒ සංචිතයට නම් කෙරුණු මිලාන් රත්නායකට පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබුණේ, 2023 වසරේ පෙබරවාරි මාසයේ පැවති නවසීලන්ත සංචාරය සඳහා ය.
ඉන්පසුව එම වසරේ අප්‍රේල් මාසයේදී පැවති අයර්ලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා ද මිලාන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම් කෙරුණ ද ඔහුට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට එම අවස්ථා දෙකේදී ම අවස්ථාවක් හිමි නොවී ය.
මංගල ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතාව
වසරකට අධික කාලයක් ජාතික කණ්ඩායමේ ටෙස්ට් සංචිතයට නම් කර සිටි මිලාන් රත්නායක අංක 09 පිතිකරුවා ලෙස තම මංගල ටෙස්ට් තරගයේදී ම පළපුරුදු පිතිකරුවෙකුගේ භූමිකාව නිරූපණය කරමින් පන්දු 135කදී ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අංක 09 පිතිකරුවෙකු හෝ ඊට පහළ පිතිකරුවෙකු සිය මංගල ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි.
මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේ, ෂොයිබ් බෂීර්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් ය.
ඔහුගේ එම ඉනිමට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 06ක් ඇතුළත් විය.
මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් තරගයේදී ම වාර්තා පොත් අතරට ද එක්විය. ඒ, සිය මංගල ටෙස්ට් තරගයේදී ම අංක 09 පිතිකරුවා ලෙස වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා බවට පත් වෙමිනි.
ඔහු බිඳ දැමුවේ මීට වසර 41කට පෙර එනම් 1983 වසරේදී පකිස්ථාන කණ්ඩායමට එරෙහිව ඉන්දීය ක්‍රීඩක බල්වින්දර් සන්ධු විසින් රැස් කරන ලද ලකුණු 71 වාර්තාව යි.
ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මාර්ක් වුඩ් සහ ෂොයිබ් බෂීර් වැනි ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ඔහු පිතිකරණයේ යෙදුණේ, ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් ද ලබා දෙමිනි.
නායක ධනංජය ද සිල්වා සමග ශ්‍රී ලංකා ඉනිමේ 08 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සහ 09 වන කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සමග ලකුණු 50ක සබඳතාවන් ගොඩ නැගීමට මිලාන් රත්නායක සමත් විය.
ඔහුගේ එම ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කිරීමට හැකි විය.
මිලාන්ට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.
"මම පුළුවන් තරම් බෝල අතඇරලා සිටුවේෂන් එක අනුව සෙල්ලම් කළා"
තරගයෙන් පසුව මාධ්‍ය හමුවකට එක්වූ මිලාන් රත්නායක පැවසුවේ, මෙම තණතීරුවේ පිතිකරණයේ යෙදීම පහසු එකක් නොවූ බව ය.
" ඇත්තට ම සෙල්ලම් කරනවා කියලා දැන ගත්ත ම කලින් දවසේ රෑ නින්ද ගියේ නැහැ."
"මුලින් ම ටෙස්ට් කැප් එක මට ලැබුණේ කුමාර් සංගක්කාරගේ අතින්. ඒක මට ගොඩක් වාසනාවක්. ගොඩක් සතුටු යි මට."
"මැච් එක ගැන කිව්වොත් මට කරන්න තිබුණේ කැප්ටන්ට සපෝර්ට් කරන එක. මුලින් ම කැප්ටන්ට සපෝර්ට් කරලා සිටුවේෂන් එකේ හැටියට ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරන එක. මගේ පැත්තෙන් කැප්ටන්ට වෙන්න ඕන දේ කරනවා කියලා හිතාගෙන යි මම බැට් කළේ."
"විකට් එක මම හිතුවේ ගොඩක් මූව් වෙයි කියලා. සමහර වෙලාවට ස්පින් එකට බොලේ පහතින් ආවා වගේ ම සමහර වෙලාවට බෝලේ උඩින් ගියා. විකට් එක ලේසි නැහැ සෙල්ලම් කරන්න. මගේ රෝල් එකේ හැටියට මම කළේ පුළුවන් තරම් බෝල අතඇරලා ටීම් එකට සපෝර්ට් කරන එක. විකට් එක ලේසි නැහැ සෙල්ලම් කරන්න. ඒ කට්ටිය දෙපැත්තට ම බොලේ යවනවා (දෝලනය). ඒක බලලා ඒ සිටුවේෂන් එකට සෙල්ලම් කළේ."
"අපි ලෝවර් ඕඩර් එක කතා වුණේ විකට් දෙන්නේ නැතුව පුළුවන් තරම් ලකුණු ගන්න එක ගැන. පළවෙනි විකට් 6-7 ගියාට පස්සේ පුළුවන් තරම් ඉඳල ලකුණු ගන්න එක ගැනයි අපි කතා වුණේ."
"අපි නෙට්ස්වල ගොඩක් බැට් කළා බෝලර්ස්ලා එහෙම. සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් බැට් කළා."
"මම හිතන්නේ නැහැ කලින් මට අවස්ථාවක් ලැබෙන්න තිබුණා, මම කාලයක් බලන් හිටියා කියලා. මම හිතන්නේ මට හොඳ ම දවසේ සෙල්ලම් කරන්න ලැබුණා කියලයි," මිලාන් රත්නායක පැවසුවේ ය.
0 Comments