මේ මොහොතේ මැතිවරණයක් තැබීමේ සුදුසු අවස්ථාවක් නොවන බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
නමුත් සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කියා සිටියේ මේ මොහොතේ රජය විසින් ජනමත විචාරණයක් කැදවිය බවයි.
එකී මතය බැහැර කරමින් චම්පික රණවක මහතා කොළඹ දී මාද්‍ය අමතමින් පළ කළ අදහස් මෙසේය.
ප්‍රමුඛතාවය අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වහා පාසල් විවෘත කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔවුන්ට කඩිනමින් ෆයිසර් එන්නත ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල වීමෙන් අධ්‍යයන වර්ෂ දෙකකට අධික කාලයක් සිසුන්ට අහිමි වී තිබේ. එමෙන්ම මේ වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය ඔක්තෝබර් නොවැම්බර් දක්වා කල් ගොස් තිබේ. ඒ පිළිබඳව නිශ්චිත දිනයක් තීරණය කොට නොමැති තත්ත්වයක් තුළ ආණ්ඩුව පාසල් ආරම්භ කිරීමක් ගැන කතා කරයි.
“අපි ඉල්ලීමක් කළා, පාසල් පටන් ගන්න අඩුගානේ ජනවාරි පළවෙනිදාවත්, විධිමත්ව පාසල් සිසුන් සියලුදෙනාවම එන්නත්කරණය කරලා, ගුරුවරු එන්නත්කරණය කරලා, ගුරුවරුන්ගේ වෘත්තීය අරගලය සාධාරණ පදනමකින් විසඳලා. ඒ එකක්වත් ආණ්ඩුව කරන පාටක් නෑ.”
ඒ වෙනුවට ආණ්ඩුව දැන් ප්‍රකාශ කරන්නේ 100 ට අඩු සිසුන් සිටින පාසල් විවෘත කිරීමට යන බවයි.
ගම්බද ප්‍රදේශවල වැසී යමින් තිබෙන පාසල් ප්‍රමාණයක් තිබේ. එම පාසල්වල අධ්‍යාපනය ලැබෙන්නේ බොහෝ දුරට ශිෂ්‍යත්ව විභාගය දක්වා පමණකි. ඒ පාසල් නැවත පටන් ගැනීමෙන් මේ තිබෙන අර්බුදයට විසඳුමක් නොලැබේ.
“අද වහාම පාසල් ආරම්භ කරන්න ඕනේ උසස් පෙළ සිසුනට හා සාමාන්‍ය පෙළ සිසුනට. ඒ සිසුන් වර්ග දෙක ප්‍රමුඛතා පදනමක් මත එන්නත් කරණය කරන්න ඕන. ඒ වගේම මේ හැම එන්නතක්ම ගහලා හරියන්නේ නෑ. මොකද අපිට පේනවා පහුගිය දවස්වල මරණයට පත් වෙච්ච අයගෙන් 7%-8% ක් එන්නත් දෙකම ලබා ගත්ත අය. තරුණ අයට මේ එන්නත ඔරොත්තු දෙන්නැති බව පැහැදිලියි. ලෝකය පුරාම ඒ පිළිබඳ විද්‍යාත්මක වාර්තා තියෙනවා. ඔවුන්ට ලබාදිය යුත්තේ ෆයිසර් එන්නත. ඒ නිසා ඒ එන්නත වහාම ගෙන්වලා මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ සිසුනට හා ගුරුවරුන්ට ලබා දීලා පාසල් ඔවුන්ගෙන් පටන් ගැනීම තමයි විද්‍යාත්මක තීරණය විය යුත්තේ.”
පසුගිය වසරේ දෙසැම්බර් මස පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලක්ෂ 3කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, තවමත් එහි ප්‍රතිඵල නිකුත් කොට නැත. ඒ සඳහා රජය විසින් ප්‍රායෝගික විසඳුමක් ලබා දී නොමැති තත්ත්වයක් තුළ ඊළඟ විභාගය සඳහා වාඩිවෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමට සාමාන්‍ය පෙළ සිසුන්ට නොහැකි වී තිබේ.
“දැන් මාස අටක් ඒ ප්‍රතිඵල ලබා දෙන්නට නැතුව කල් මරනවා. මොකද හේතුව ප්‍රායෝගික පරීක්ෂණ කරලා නෑ කියලා. ඉතින් මේක මේ තියෙන අසාමාන්‍ය තත්ත්වයක්. මේ අසාමාන්‍ය තත්වය යටතේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්න බෑ. මේවට කරන්න තියෙන්නේ මේ අසාමාන්‍ය තත්ත්වයට අසාමාන්‍ය විසඳුම් ගේන එක. ඒ කියන්නේ මේ දරුවෝ අට, නමය දහය ශ්‍රේණිවල මේ ප්‍රායෝගික පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට ඒ ප්‍රායෝගික පරීක්ෂණ වල ප්‍රතිඵල පදනම් කරගෙන න්‍යායාත්මක විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න ආණ්ඩුවට පුළුවන්.”
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සැළකිය යුතු ප්‍රමාණයක් ප්‍රායෝගික පරීක්ෂණ සිදු කොට නොමැති තත්ත්වයක් තුළ ප්‍රතිඵල පමා කරමින් දරුවන්ගේ අනාගතය සමග මේ ආකාරයට සෙල්ලම් කිරීම තරම් සාහසික අපරාධයක් තවත් නැති බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි
“උසස් පෙළ කියන්නේ දරුවන්ගේ ජීවිත කඩඉමක්. තමන් විශ්ව විද්‍යාලයට යනවද? වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට කළමනාකරණ පීඨයට යනවද? නැත්නම් තමන් තාක්ෂණ පීඨයට යනවද? තමන්ගේ අනාගතය මොකක්ද කියලා පුදුම තැතිගැන්මකින් මේ ළමයි ඉන්නේ. දැන් උසස් පෙළ දෙවෙනි වතාවේ කරන අය ඉන්නවා. තුන්වෙනි වතාවේ කරන අය ඉන්නවා. පළවෙනි වතාවේ කරන අය ඉන්නවා. මේ දරුවෝ උපරිම විදිහට මේවට සූදානම් වෙමින් ඉන්නවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සමත් නැති ඒවාට කවදාකවත් පෙනී ඉඳලත් නැති ඇත්තන්ට මේක ලොකු ප්‍රශ්නයක් නම් නෙමෙයි. ඒගොල්ලන් දරුවන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ රටේ අධ්‍යාපනය තමයි තියෙන එකම කඩඉම, එකම ඉණිමග සමාජයේ ඉහලට යන්න. ඒ නිසා අපි රජයට කියනවා මේ දරුවන්ගේ ජීවිත එක්ක තවත් සෙල්ලම් කරන්න එපා. කරුණාකරලා වහාම ෆයිසර් එන්නට ලබාදීලා ඔවුන්ගේ විභාග දිනය නිශ්චිත කරලා වහාම උසස් පෙළ සිසුන්ට පන්ති පවත්වන්න.”
විදේශ සංචාරකයන් දහස් ගණනක් රටට ගෙන්වීමේ හැකියාව ඇත්නම් විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව ජීව බුබුලක් තුළ දරුවන්ගේ විභාග පැවැත්වීමට හැකියාවක් නොමැති යැයි පිළිගත නොහැක.
“ඒක නිසා මොවුන්ට වැඩ බැරිකම තමයි මේකෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඒ වගේම මේ මගින් පාසල් දරුවෝ තමන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරගෙන සමාජයට බරක් වෙන, සමාජයට සතුරන් වෙන පිරිසක් බවට ඇතැම් දරුවෝ පත්වෙන්න පුළුවන් මේ විදිහට මේක ගමන් කළොත් කියන එකත් අපි අවධාරණය කරනවා.”
විශ්ව විද්‍යාල සම්බන්ධ ගැටළුව මීට වඩා පහසු ආකාරයෙන් විසඳා ගත හැකි බව ද රණවක මහතා අවධාරණය කළේය.
විශ්ව විද්‍යාලවල සැළකිය යුතු පරිමාණයෙන් නේවාසිකාගාර තිබේ. ආණ්ඩුව විසින් පළමුව කළ යුත්තේ විශ්වවිද්‍යාලවල යම් තෙරපුමකට ලක්ව සිටින 3 වෙනි සහ 4 වැනි වසර සිසු සිසුවියන් විශ්ව විද්‍යාලයට ගෙන්වා ගෙන ඔවුන් එන්නත්කරණයට යොමු කරවා ගැනීමය.
“දවසකට ලක්ෂ ගණන් එන්නත්රණය කරන්න පුළුවන් නම්, මුළු රටේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එන්නත් කරනය කරන්න පුළුවන් වරුවෙක්. ඔය කියන විදිහට. ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, එන්නත ලබාදීලා, දේශපාලන කාරණා වලින් තොරව විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන්න, රජය වහාම වහ වහාම මේ ඊළඟ මාසේ පළවෙනිදා ඉඳන්ම පියවර ගත යුතුයි. මොකද ඒ දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වෙනවා කියන්නේ අද විශාල දරුවෝ පිරිසක් ඇති හැකි අය අධ්‍යාපනය ලබනවා. ඇති හැකි අය විදේශ විශ්වවිද්‍යාල වලට යනවා. නැති බැරි දරුවෝ අද සමාජයට වෛර කරමින්, පවුලට වෛර කරමින් ජීවත් වෙන තත්වයකට පත්වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල විවෘත කරන්න නම් ආණ්ඩුව පමා වෙන්නේ, උද්ඝෝෂණ වලට මේ පාලකයින් දක්වන බය නිසා.”
“උද්ඝෝෂණ වලට බයේ විශ්වවිද්‍යාල වහගෙන ඉඳීම තරම් සාපරාධී අපරාධයක් තවත් නෑ. ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගිය බොහොම අතලොස්සයි ඉන්නේ ඔතන. අනික් අය සියලු දෙනාටම එවැනි අධ්‍යාපනයක් ඇත්තෙත් නෑ. ඒක නිසා ඒගොල්ලන්ට මේ ගැන අගයක් නැතුව ඇති. නමුත් විශ්වවිද්‍යාල දරුවන් විශ්වවිද්‍යාල දරුවෙක් ඉන්න දෙමාපියෙක් හැටියටත් මම ආරාධනා, ආයාචනා කරනවා සියලු දෙමාපියන්ට දැන් ඕගොල්ලෝ කට පියාගෙන හිටියා ඇති. ඕගොල්ලෝ දැන් නිහඬව හිටියා ඇති.”
වර්තමාන ආණ්ඩුව පාදඩ දේශපාලනයට කෙම්බිමක් නැතහොත් තෝතැන්නක් බව ද රණවක මහතා පෙන්වා දෙයි. ලොහාන් රත්වත්තේ සහ අනෙකුත් මැති ඇමැතිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අප පුදුම විය යුතු නොවේ.
“මේ ආණ්ඩුවේ වැදගත් මැති ඇමතිවරු ඉන්නවා. ඒගොල්ලන්ට කිසිම කෙනෙකුට හඬක් නෑ. පාර්ලිමේන්තුවේ ඉන් පිටතයි හඬ තියෙන්නේ ඔය ජාතියේ පිරිසකට තමා. ඉතින් ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වීමෙන් විතරක් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔහුට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.”
මේ අවස්ථාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ මෙවන් අදහසකි.
“මේ අවස්ථාවේ මැතිවරණ තැබීමේ කාරණයක් තැබීම සුදුසු නෑ කියන එක තමයි මගේ මතය.”
– media unit
0 Comments