කන්‍යාභාවය යනු චරිතවත් බවේ මිනුමක් ද?

 

කන්‍යාභාවය යනු පුද්ගලයෙකු කිසිදිනෙක ලිංගික සංසර්ගයෙහි නොයෙදුනු තත්වයකි. මෙය ස්ත්‍රී, පුරුෂ යන දෙපාර්ෂවයටම එකලෙස වැදගත් වන සංකල්පයක් උනත්  මෙයින් වැඩි වශයෙන්ම ඉලක්ක වන්නේ ස්ත්‍රීන්ය. ජීව විද්‍යාත්මකව ස්ත්‍රියකගේ කන්‍යාපටලය ඉවත්වීම, කන්‍යාභාවය නැතිවීම ලෙස සලකනවා.  එනම් පුරුෂයෙකුගේ ප්‍රාණවත්වූ ශිෂ්නය ස්ත්‍රියකගේ යෝනිමාර්ගයට ඇතුලත්වීම තුලින් කන්‍යාපටලය ඉවත්වීමයි. 

කන්‍යාපටලය ඉවත්වීමට බලපන්නේ ලිංගිකව එක්වීම විතරක් නොවේ. ඇත්තටම නැහැ. දුර පැනීම, උස පැනීම, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා වල යෙදෙන ගැහැණු ළමයි ගොඩල් පාද ඈත් කරන නිසා, ඔවුන්ගේ කන්‍යාපටලය (hymen) බිඳීයන්න පුලුවන්. එතකොට මේ අයගෙත් කන්‍යාභාවය නැද්ද? ඒ වගේම යෝනි මාර්ගය ආශ්‍රිත ලිංගික ක්‍රියා වලින් වැලකී, කන්‍යාපටලය ආරක්ෂා කරගෙන, එක් පුරුෂයෙක් සමග හෝ පුරුෂයන් කිහිප දෙනෙක් සමග මුඛ සංසර්ගය, ගුද සංසර්ගය වැනි ලිංගික ක්‍රියාවල නිරත වන ස්ත්‍රීන්, කන්‍යාවියන් ලෙස සමාජය පිලිගනී. මේක වර්ගීකරණය සාධරණද?

ඒ වගේම අපි කලින් කිව්ව යෝනි ආශ්‍රිත ලිංගික ක්‍රියාවක් නිසා කන්‍යපටලය ඉවත්වූ ස්ත්‍රීන් කන්‍යාභාවය නොමැති ස්ත්‍රීන් ලෙස ගොනුකිරීම න්‍යායාත්මකව නිවැරදි උනත් එහි ප්‍රායෝගික ගැටළු රැසක් ඇත. ස්ත්‍රියකගේ වරණය නැතුව, බලහත්කාරයෙන් කොතරම් ලිංගික අපචාර සිදුවෙනවද? එවන් බලහත්කාරකමක් සිදු වු ස්ත්‍රියක් සමජීය වශයෙන් කොන් කිරීම නිවැරදිද? ඒ විතරක් නෙවෙයි, අවංක ආදරයක නිරත වී, කාම ආසහනයෙන් පෙලෙන්නන්ගේ ගොදුරු වූ ගැහැණු දරුවන් කොපමණ සිටිනවද?

එක මොහොතකදී වෙච්ච වැරැද්දක් නිසා ජීවිත කාලය පුරාවටම තම සහකරුවාගෙන්, නෑදෑයින්ගෙන්, වෙනත් පාර්ෂව වල ගැරහීම් වලට මුහුණ දෙන බොහෝ කාන්තාවන් සිටී. එවැනි ගැහැණු දරුවෙක් පෙම් සම්බන්ධයක් පටන්ගන්න විට, කාලන්තරයක් තමා පසුපස ආ පෙම්වතා ඔයා virgin ද කියලා අහනකොට ඇය පත්වන අපහසුතාවය සුලුපටු නැහැ. ඇත්ත වශයෙන්ම බොහෝව්ට සම්බන්ධතාවය නවතිනවා. සමහර විට, ටික කාලක් භාවිතා කරලා, අතහැරලා දානවා. ඒ වගේම සාම්ප්‍රදායික සංකල්ප ගැන විශ්වාසයක් නැති පුරුෂයන් අතලොස්සක් පෙරටත් වැඩියෙන් ඇයට ආදරය කරලා, ඇයව බාරගන්නවා.

අතීත සම්ප්‍රදායකුත් කන්‍යාභාවය පිලිබඳ තිබේ. යම් යුවලක් විවාහ වී, මධුසමයේ පලමු දිනයේ, සිය පුත්‍රයාගෙන්, ඔහුගේ බිරිඳගේ කන්‍යාපටලය බිඳී, රුධිරය ඇඳඇතිරිල්ලේ ගෑවී තිබේදැයි බැලීමට සැමියාගේ අම්මා හෝ වැඩිහිටි කාන්‍තාවන් යෑමේ සම්ප්‍රදායක් තිබී ඇත. ඒ රුධිරය තැවරුන ඇඳ ඇතිරිල්ල, යුවල, සැමියාගේ නිවසට පැමිණෙන දිනයේදී හැමෝටම පේන්න දිස් කර, තම ලේලියගේ පාරිශුද්ධභාවය පෙන්නුම් කරයි. කසාද දිනයේදී කොතරම් මහන්සි උනත්, මධුසමයේ පලමුදිනයේ ගිමන්හරින්න බැරි මේ සම්ප්‍රදාය තවමත් ගැමි ජනතාව අතර තිබේ.

කන්‍යාපටලය මගින් කන්‍යාභාවයත්, කන්‍යාභාවය මගින් ස්ත්‍රීයකගෙ චරිතවත් බවත් මිනුම්කිරීම වැරදියි. කන්‍යාපටලය බිඳුනු ස්ත්‍රීන්, පසුව විවාහ වී  පතිවෘත ආරක්ෂා කරගෙන ජීවත් වූ උදාහරණයත්, කන්‍යාපටලය ආරක්ෂා කරගෙන විවාහ වූ ඇතැම් ස්ත්‍රීන් විවාහයෙන් පසුව අනියම්, රහස් සම්බන්ධතා පැවැත්වූ උදාහරණද එමටය. මේ නිසා කන්‍යාභාවය පිලිබඳ ඇති දුර්මත සමාජයෙන් ඉවත්කර, සියලු දෙනාගේ පෞද්ගලිකත්වයටත්, ස්වාධීනත්වයටත්, ගරුකල යුතුය.

- යෙනුක සිසිල්චන්ද්‍ර

තවත් ලිපි :


Post a Comment

0 Comments