මං ජනාධිපති වෙනවා.. රට හදන වැඩපිලිවෙල අදම කියනවා..- විජේදාස මාධ්‍ය හමුවේ..

 


ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස තමන් තරග වදින බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

තමන් ජනාධිපති වූ පසුව සිදු කරන බදු සංශෝධන හා නීති ක්‍ෂෙත‍්‍රයේ සංශෝධනයන් සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කරන ලදී.

වන්දනීය පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකතුමනි,

ශ්‍රී ලංකාව තුළ සහ විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකේය දෙමාපියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි,

මේ ඔබේත් මගේත් මව්බිමයි. අපගේ මුතුන්මිත්තන්ගේ ප්‍රාණ වායුවත්, අද ජීවත්වන අපගේ ප්‍රාණ වායුවත්, අනාගතයේ උපදින දරු මුණුපුරන්ගේ ප්‍රාණ වායුවත් රඳා පවතින්නේ අපගේ ආදරණීය ලක් දෙරණ මත ය.

මා මෙන්ම ඔබ සියලු දෙනා සිය ප්‍රාණය මෙන් මේ මව් දෙරණට ද ආදරයෙන් බැඳී සිටින බව මම දනිමි. ලක් මාතාව උකසට තබා අවස්ථාවාදී පාපතරයන් මෙතෙක් කළ දේශපාලන සූදුවට තිතක් තැබීමට කාලය පැමිණ ඇත. තවදුරටත් මාතෘභූමිය විනාශය කරා ගෙන යාමට මාන බලන දුෂ්ට බලවේග අප පරාජය කළ යුතුව ඇත. වෙන්ව වැළලුණ අතීතයට තිතක් තබා එක්ව නැගිටින වර්තමානය සහ අනාගතය ගොඩනැගීම ඔබගේ පරම පැතුම බව මම දනිමි.

පසුගිය දශක කිහිපයෙහි රට තුළ දේශපාලන උන්මත්තකභාවය සීග්‍රයෙන් වර්ධනය වූ අතර රාජ්‍ය තන්ත්‍රය අල්ලසෙන්, කොමිස්වලින්, කප්පම්වලින් ඉතිරී ගොස් වංචාව හා දූෂණය සිංහාසනාරූඪ විය. මානව ගුණධර්ම පිරිහී මනුෂ්‍යයන්ගේ ආධ්‍යාත්මික වටිනාකම් වනසාලමින් දේශපාලනික අරාජිකත්වයත්, ආර්ථික බංකොලොත් බවත් ජනතාවට උරුම කොට ඇත.

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයෙහි අදූරදර්ශිභාවය නිසා රාජ්‍ය පාලනය බිඳ වැටීමේ අනිටු ඵලවිපාක ලෙස පසුගිය දශක දෙකක කාලය තුළ රටට ගෙන ආ යුතු විදේශ විනිමය ඩොලර් බිලියන ගනනින් රටට අහිමි කොට ඇත. රටේ ආර්ථිකයේ වැඩි බරක් උසුලන කුඩා සහ මධ්‍යම කර්මාන්තකරුවන්, ආයෝජකයන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දිය යුතුව තිබූ ප්‍රාග්ධනය බිලියන ගනනින් රාජ්‍ය බැංකු දෙක මගින් අවභාවිත කිරීම නිසා නිෂ්පාදන හා නිර්යාත ආර්ථිකයට මරු පහරක් එල්ල විය‍. ‍

දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කර රුපියල් මුදල් ඒකකය ඇති පදමින් බාල්දු කළේ ය. ව්‍යවසායකයන්ට හා ‍ආයෝජකයන්ට ලැබිය යුතු රාජ්‍ය අනුග්‍රහය නොලැබීම තුළ අධි පොලී අනුපාත මත ලබාගත් ණය බර හරහා මූල්‍ය ආයතන විසින් ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර වනසාලීම පමණක් නොව ඔවුන්ගේ ගේ දොර ද මංකොල්ල කෑවේ ය. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ධීවර කර්මාන්තය යනාදිය වේගවත් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඇරඹූ රාජ්‍ය බැංකු අතිශය දූෂිත ජාවාරම්කරුවන්ගේ සූදු තිප්පොළවල් බවට පත්කර ඇත.

දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය 8% දක්වා ද, කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය 32% දක්වා ද හැකිළීම නිසා සේවා අංශය පමණක් පුළුල් වීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය විචල්‍යතාවන්ට ඔරොත්තු නොදෙන මට්ටමට දුර්වල විය. ඉහළ ආදායම් ලාභීන්ට බදු සහන ලබා දීම සහ අදූරදර්ශී පොහො‍ර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් දුගී දුප්පත්කමේ අඩියට ම රට ඇද වැටුණි. කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද, ධීවර කර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත අංශ දියුණු කිරීම සදහා නව්‍යකරණය වූ ආයෝජනය සැලැස්මක් අප විසින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. බොහෝ නිර්යාත භාණ්ඩ අගය එකතු කළ භාණ්ඩ ලෙස අපනයනයට යොමු කිරීමත්, නිර්යාත ආදායම නිසි ලෙස රට තුළට ප්‍රේෂණය කර ගැනීමත් තහවුරු කළ යුතු වේ. කෘෂිකර්මාන්ත, පශූ සම්පත්, කර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍ර සඳහා වෙනම බැංකු පද්ධති ස්ථාපනය කළ යුතු අතර ආපසු ගෙවීම් සුරක්ෂිත කරනු වස් රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු වේ.

නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීම සදහා වසර 5 සිට 10 දක්වා වෙනස් නොවෙන්නා වූ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු අතර බදු ක්‍රමය සරළ කළ යුතුවේ. වක්‍රබදු ප්‍රතිශතය ක්‍රමාණුකූල ලෙස අඩු කිරීම මගින් අඩු ආධායම්ලාභීන් ආර්ථික බර අඩු කළ යුතුව ඇත.

භාණ්ඩ අපනයන කිරීමේ දී දේශීය කෘෂිකර්මාන්තයට සහ කර්මාන්ත අංශයට අහිතකර බලපෑම් නොවන බව තහවුරු කළ යුතු වේ. ශ්‍රී ලංකා රේගුව, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන මගින් උපයාගත යුතු මුදලින් විශාල ප්‍රතිශතයක් ආදායම් ලෙස රටට නොලැබේ. එම අංශයන්හි නීති රාමුව යාවත්කාලීන කිරීමත්, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුළු රාජ්‍ය සම්බන්ධිකරණ ජාලය ඩිජිටල්කරණය කිරීම හරහා රජයට ලැබිය යුතු ආදායම ඉහළ මට්ටමකට ගෙන යා හැකි වේ.

ගෘහස්ථ සහ කුඩා පරිමාණ සූර්ය ශක්ති (Solar Power) ව්‍යාපෘති ව්‍යාප්ත කළ යුතු අතර පොසිල ඉන්ධන භාවිතය අවම කර ගැනීම මගින් ජාතික ආර්ථිකය ඉතා ඉහළ මට්ටමකට ගෙන යා හැකි වේ. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි කර ගැනීම පිණිස ඔවුන් දිරිගැන්වීමට අදාළ සහන පිළිවෙතක් හඳුන්වා දිය යුතුව ඇත. සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ප්‍රබල අවකාශයක් ඇති අතර සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා බදු සහන ප්‍රතිපත්ති සහ මූල්‍ය සහාය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුව ඇත. වසර පහක් ඇතුළත ක්‍රමානුකූලව සංචාරකයන් වර්ෂයකට මිලියන 10 ක් ආකර්ශණය කරගත හැකිව ඇත.

අධ්‍යාපනයේ සියලු අංශවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ලෙස මාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ නිර්දේශ තුළ මුල් ළමා විය අධ්‍යාපනයේ පටන් උපාධිය දක්වා සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ඇතුලත් ය. එම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අධ්‍යාපනය සඳහා සම අවස්ථා සහතික කිරීම, සමාජ ආර්ථික දේහයට ගැළපෙන විද්‍යාර්ථීන් බිහි කිරීම, අධ්‍යාපනයේ සියලු අවස්ථාවන්හි ගුණාත්මකභාවය තහවුරු කිරීම, ශ්‍රී ලාංකික දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා විදේශයන්ට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ රඳවා ගැනීම ඇතුළු බොහෝ ඉලක්ක සපුරා ගැනීම මෙමගින් සිදුකළ හැකි වේ.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපනය කළ යුතු අතර රාජ්‍ය සෞඛ්‍ය සේවාව සැමට සමව ලබා දීම සහතික කරනු වස් සෞඛ්‍ය රක්ෂණ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර පසුව එය පුළුල් ලෙස බලාත්මක කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 ආරම්භ කළ 2030 ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන තිරසාර සංවර්ධන ව්‍යාපෘති ඉලක්ක සාක්ෂාත් කරගත හැකි පරිදි අපගේ ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික සංවර්ධන ඉලක්ක ජයගැනීම පිණිස අපි එක්ව කැපවී කටයුතු කරමු.

රාජ්‍ය ප්‍රවාහන පද්ධතිය විධිමත් සහ කාර්යක්ෂම කළ යුතු අතර පෞද්ගලික අංශය විධිමත් ලෙස නියාමනය කළ යුතු ය. මගීන් මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ග නවීකරණය කර නවමු ව්‍යාපෘති ආරම්භ කිරීමත්, දුම්රිය ස්ථාන සංවර්ධනය රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘති හරහා ආරම්භ කිරීමත් කාලෝචිත ය.

ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් නොබැඳි ප්‍රතිපත්තියක පිහිටිය යුතු අතර සෑම රාජ්‍යයක් සමඟ ම මිත්‍රශීලී ආකල්පයෙන් ගනුදෙනු කළ යුතු ය. අප කලාපයේ රාජ්‍යයන් සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයනට ප්‍රමුඛත්වය ලබා දිය යුතුවේ. ඒ සඳහා අවංක සහ කාර්යශීලී සේවයක් මෙන් ම රාජ්‍යයන් අතර වාණිජ සම්බන්ධතා වර්ධනය කරගත හැකි රාජ්‍ය තාන්ත්‍රිකයන් තානාපති සේවයට යෙදවිය යුතු වේ.

වර්තමානයේ බොහෝ රටවල් සිදු කරන ආක්‍රමණික සංවර්ධන උපාය මාර්ග හේතුවෙන් සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය හේතුවෙන් පෘථිවි තලය මානවයාගේ පැවැත්මට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්ව ඇති අතර නිවර්තන කලාපයේ බොහෝ රටවල් දුගී දුප්පත් තත්ත්වයට පත්ව ඇත. එවන් වූ හඬක් නැති රටවලට හඬක් වෙමින් මිහිතලය තවදුරටත් ජීවීන්ට පැවතිය හැකි තැනක් කිරීමට ජාත්‍යන්තරයට බලපෑම් කිරීමට පමණක් නොව නායකත්වය දීමේ හැකියාව අප තුළ ඇති බව තේරුම්ගත යුතු වේ.

එකී සියලු අභියෝග ජය ගනිමින් ජනතාවගේ අපේක්ෂා ඉටුකරලීම පිණිස රට තුළ නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ අතර 19 වන සහ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට මා නායකත්වය සපයන ලදී. හිතුවක්කාරී ඒකාධිපති ස්වරූපයේ ජනාධිපති ධුරය වගකීමට හා වගවීමට යටත් කළ අතර අධිකරණ සහ රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලදී. ජාතික ප්‍රසම්පාදන සහ විගණන කොමිෂන් සභා ද ස්ථාපනය කරන ලදී.

රට බොහෝ දුරට විනාශය කරා ගෙන යෑමට බලපෑ රාජ්‍ය තන්ත්‍රය වෙලාගෙන ඇති වංචා, දූෂණ, කොමිස්, කප්පම් වැනි දෑ සමාජයට පිළිලයක් වී ඇත. ඒවා වළක්වා ගැනීම සඳහා නව දූෂණ විරෝධි පනත සම්මත කර ගැනීම සඳහා මා විසින් දරන ලද වෙහෙස අපමණය. එය ජනතාවට ද නොරහසකි. මුලුමනින් ම ස්වාධීනව කටයුතු කළ හැකි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපනය කළ අතර වත්කම් සහ බැරකම් ප්‍රකාශනයන්ට අදාළ දැඩි නීති ඊට අන්තර්ගතව ඇත. ආසියානු රටවල් අතර ඇති විශිෂ්ඨතම දූෂණ විරෝධී පනත මෙය වේ.

මැතිවරණ දූෂණ අවම කොට තරුණ තරුණියන්ට හා විද්වතුන්ට මෙරට දේශපාලන යාන්ත්‍රණය බාර ගැනීමට හැකිවන පරිදි මැතිවරණ වියදම් නියාමන පනත සම්ම්ත කර ගතිමි. අපරාධ වලින් ඉපැයූ ධනය හා දේපළ රාජසන්තක කිරීමේ (proceeds of crime) පනත් කෙටුම්පත සකසා අවසන් අතර සම්මත කරගත යුතුව ඇත.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සරල කළ අතර නඩු විසඳීමේ ප්‍රමාදය අවම කර ගැනීමට බොහෝ පියවර ගෙන ඇත. ඉඩම් පිළිබඳ ව සිදුවන වංචනික සහ කූට ලේඛන සැකසීම මැඩලන නීති සම්මත කළ අතර ‍රටේ ආර්ථිකය නිවැරදි දිශානතිය වෙත ගෙන යාම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපත්ති සම්මත කර ගන්නා ලදී.

ජාතික සමගිය සහ ප්‍රතිසංධාන කාර්යාල පනත මගින් බිම් මට්ටමේ සිට ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇත. එය ග්‍රාම රාජ්‍ය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. සාමය සමගිය මෙන් ම ආධ්‍යාත්මික ගුණ වගාවන් සමාජය තුළ ඇතිකරමින් එකම ශ්‍රී ලාංකේය අනන්‍යතාව තුළ සමඟි සම්පන්න රටක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීම බව අවබෝධ කරගෙන කටයුතු කරමු යැයි මම ඉල්ලා සිටිමි.

අග්ගඥ්ඥ සූත්‍රයේ ඉගැන්වෙන රාජ්‍ය පාලනයේ මහා සම්මත සම්ප්‍රදාය සහ තවත් බොහෝ දාර්ශනික ඉගැන්වීම් අපට හමුවේ. මම බෞද්ධ ඉගැන්වීමෙහි එන දස රාජ ධර්ම හා ලිච්ඡවී රජ දරුවන්ගේ සප්ත අපරිහානීය ධර්ම ප්‍රතිපත්ති දේශපාලනිකව විශ්වාශ කරමි. ඔබේත් මගේත් මාතෘභූමිය සුඛිත මුදිත කරනු පිණිස චක්‍රවර්තී සිහනාද සූත්‍රයේ සඳහන් පරිද්දෙන් ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මය ධජය කොට ගෙන, ධර්මය ලකුණකොට, ධර්මය අධිපති කරගෙන රාජ්‍ය කළ යුතුයැයි දැඩිව සිතමි.

ජන කොටස් අතර සමගිය මෙන් ම ඔවුන්ගේ සුරක්ෂිතභාවය දැනෙන ලෙසට ව්‍යවස්ථාදායකය ද්විසභා (bicameral) ක්‍රමයකට පරිවර්තනය කොට සෙනෙට් සභාවක් (උත්තරීතර මණ්ඩලයක්) ස්ථාපනය කිරීමට ප්‍රමුඛතාව දීමට අප ක්‍රියා කළ යුතු ය. මැතිවරණ ක්‍රමය ද ඊට සමගාමීව වෙනස් විය යුතු අතර එය මිශ්‍ර ක්‍රමයක් මෙන්ම සියලු ජන කොටස් වල නියෝජනය තහවුරු වන ආකෘතියක් විය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපනය කිරීම කාලීන අවශ්‍යතාවකි.

බයිබලයේ සඳහන් වන ආකාරයට දේවරාජ්‍යයේ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද, හෙල්ලවලින් දෑකැතිද, සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව අවි ඔසවන්නේවත් යුද්ධ කරන්නේවත් නැත !

පසුගිය කාලය තුළ මධ්‍යම පන්තියේ බොහෝ දෙනෙක් දරිද්‍රතා කොටසට වැඩී ඇත.

ආදායම් විෂමතාව සහ ඇති නැති පරතරය බොහෝ පුලුල් වීම නිසා මතුව ඇති සමාජ අසමානතාවන් අවම කිරීම සඳහා සුදුසු ලෙස බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු අතර එය කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ධීවර ක්ෂේත්‍රය යනාදියෙහි ආයෝජන දිරිගන්වන උපාය මාර්ගීය ලෙස සිදුකළ යුතුව ඇත.

පක්ෂ දේශපාලනය තුළ නිර්මාණය කළ පවුල් හවුල් සහ ගජමිතුරු පාලනය මෙරට ජනතාවට ශාපයක් වී ඇති බව පසුගිය වසර කිහිපයේ දී ජනතාව තේරුම් ගත්තේ ය. රට නිවැරදි දිශානතිය හරහා සංවර්ධිත රටක් බවට පත්කොට ජනතාවට සුවදායක ලෙස ජීවත්වීමට සුදුසු ස්ථානයක් කිරීමට නම් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු ය. ඊට සියලු දෙනාම අනුගත විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාව තුළ තිබූ විශ්වාසය නැවත ගොඩනැගිය යුතු ය.

උස් පහත් භේදයකින් තොරව නීතිය සමව ක්‍රියාත්මක කරන තෙක් රට වැටී ඇති ආගාධයෙන් ගොඩගත නොහැක. ප්‍රශස්ත දෙය නිරතුරුව සේවනය කිරීමත්, සදාචාර විරෝධී ක්‍රියාවන්ගෙන් ඈත්ව ජීවත්වීමත්, පැහැදිළි දර්ශනයකින් යුක්තව කටයුතු කිරීමත් විචක්ෂණශීලී නායකයාගේ ස්වභාවය විය යුතු බව මහාභාරත කාව්‍යය පවසයි !

පක්ෂ-පාට මත පිහිටා බලය ගත් තට්ටුමාරු පාලකයන් ජනතාවගෙන් සොරාගත් දෙයින් සොච්චමක් මැතිවරණ වල දී ජනතාවට බෙදා දෙමින් තවත් කාලයක් රට මංකොල්ල කෑමට නැවතත් ජන වරමක් ලබා ගැනීම නිසා ම බ‍ංකොලොත් කළ රට නැවත ගොඩනැගීම සඳහා නවමු මානයක් දෙස අපි පිය නගමු. භෞතික අවශ්‍යතා මෙන් ම මානසික හා අධ්‍යාත්මික අවශ්‍යතා තුලනය කරගත් සාර්ව ආර්ථික සමතුලිතය නිර්මාණය කරන සමාජ ක්‍රමයක් සැකසිය යුතු අතර එය සාකල්‍යයෙන් ම දැහැමි නිවහල් සමාජයක් විය යුතු ය.

දැහැමි රටක් – නිවහල් හෙටක් මෙන් ම හරිත දේශයක් – නවමු මානයක් වෙත මේ රට මෙහෙයවීමෙහි ලා මා හට ඔබ වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැපකර දහඩිය වගුරන පියෙකු විය හැකිය.

රටක පාලකයා සිය රටවැසියන් දරුවන් සේ රැකබලාගත යුතුය යන උතුම් ආදර්ශ පාඨයට ගරු කරමින් එය යථාර්ථයක් කිරීමට මා දරන උත්සාහයට ඔබගේ පූර්ණ ආශිර්වාදය ලැබෙන බව මම විශ්වාස කරමි.

භගවත් ගීතාව පවසන්නේ කුල ගෝත්‍ර වශයෙන් හෝ උසස් පහත් වශයෙන් හෝ වෙන් කොට නොසලකා සියල්ලන්ට සම දර්ශනයෙන් සේවය කිරීම හා මෛත්‍රීය කිරීම නායකයාගේ කාර්යය බවයි. පාලකයකුගේ ප්‍රමුඛ කර්තව්‍යය විය යුත්තේ තමා යටතේ සිටින සියලු පුරවැසියන්ට සර්ව සාධාරණය ඉටු කිරීම යන කුරාන් පාඨයද මම සිහිපත් කරමි.

දැහැමි රටක්, නිවහල් හෙටක් මෙන් ම හරිත දේශයක්, නවමු මානයක් වෙත මේ රට මෙහෙයවීමෙහි ලා මම පෙරගමන්කරුවකු වන්නෙමි. භාරතයේ අශෝක අධිරාජයා විසින් ස්ථාපනය කරන ලද ටැම් ලිපියක සඳහන් වන “සවේ මුනීසා ප්‍රජා මම” පාලී පාඨයෙන් කියවෙන පරිදි රටක පාලකයා සිය රටවැසියන් දරුවන් සේ රැකබලාගත යුතුය යන උතුම් ආදර්ශ පාඨයට ගරු කරමින් එය යථාර්ථයක් කිරීමට මා දරන උත්සාහයට ඔබගේ පූර්ණ ආශිර්වාදය ලැබෙන බව මම විශ්වාස කරමි.

2024 ජනාධිපතිවරණය යනු අප සැමගේ අනාගත ඉරණම තීංදු කරණ හැරවුම් ලක්ෂය වනු ඇත. ඔබගේ ජන්දය මාතෘ භූමියේ පැවැත්ම හෝ වැනසීම තීරණය කරනු ලබන සාදකය වනු ඇත. ඔබේ ඉරණම විසදීමට ඇති අයිතිය දේශපාලකයන්ට භාර දී ඔබ බලා සිටීම නිසා අද අප සැමට දුක්ඛිත තත්ත්වයක් උදාවී ඇත. මේ ලෝකය වෙනස් වෙනවා දැකීමට ඔබ කැමති නම් එම වෙනස කළ හැක්කේ අන් කවරකුවත් නොව ඔබමය. ඊට සූදානම් වන්න.

මා මෙම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ශ්‍රී ලාංකීය ජාතියේත් විජයග්‍රහණය උදෙසාමය.

– සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා!

තවත් පුවත් : 


Post a Comment

0 Comments