අමෙරිකා එක්සත් ජනපදය විදේශයන්ට ලබා දෙන මූල්‍ය සහාය තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් විධායක නියෝගයෙන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කේන්ද්‍ර කරගත් රැකියා විශාල සංඛ්‍යාවක් අවදානමට ලක්ව ඇත.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයෙන් ආධාර ලබන සංවිධානවලට මෙම තත්ත්වය මූලික වශයෙන් බලපා ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන ක්‍ෂේත්‍රයේ නිලධාරියෙක් පැවසීය.
අමෙරිකාව විදේශවලට ලබා දී ඇති මූල්‍ය සහාය දින 90කට තාවකාලිකව අත්හිටුවීමට දුන් නියෝගය නිසා ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවති ආධාර ලැබූ ව්‍යාපෘති රැසක් ම මේ වන විට අතරමග නතර කර ඇතැයි කී හෙතෙම ඒවා යටතේ වැටුප් ලැබූ කොන්ත්‍රාත් පදනමින් යුත් සේවකයන්ගේ රැකියා අවදානමට පත්ව ඇතැයි කීය.
මෙහිදී අමෙරිකාව විදේශවලට ලබා දී ඇති සියලු ම මූල්‍ය සහාය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලදැයි දින 85ක් තුළ සමාලෝචනයක් සිදුවන්නේ යැයි ද එම කාලය තුළ මෙම ව්‍යාපෘති තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.
මෙසේ අමෙරිකානු ආධාර ලබන සංවිධාන රැසක් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අතර නවාතැන් පහසුකම්, ප්‍රවාහන කටයුතු, ආහාර පාන සැපයුම ආදී වශයෙන් ඒවායෙන් සෘජුව හා අනියමින් ජීවන මාර්ග සලසාගන්නා පිරිස දහස් ගණනකි.
දිළිඳුභාවය තුරන් කිරීම, තිරසර සංවර්ධනය, පරිසර සංරක්ෂණය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, අධ්‍යාපනය, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ, මානව හිමිකම්, ග්‍රාමීය සංවර්ධනය, ආපදා කළමනාකරණය, කාන්තාවන් සවිබලගැන්වීම ආදී ක්‍ෂේත්‍ර රැසක් පුරා නගරවල සිට ප්‍රජා සංවිධාන දක්වා විවිධ මට්ටමින් මෙම සංවිධාන ක්‍රියාත්මක වේ.
මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට අනුව 1956 වසරේ සිට මේ දක්වා ඇමරිකාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන දෙකක මූල්‍ය සහායක් ලබා දී ඇත.
1994 ආණ්ඩු වෙනසින් පසුව ආණ්ඩුව හා සිවිල් සමාජය අතර පරතරය අවම වීම සමග රාජ්‍ය නොවන සංවිධාන ක්‍ෂේත්‍රයේ පිබිදීමක් සිදු වූ අතර 2004 වසරේදී සිදුවූ අනපේක්ෂිත සුනාමි ඛේදවාචකයේදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවලට විශාල සහායක් වූයේ මෙම විදේශ ආධාරයි.
2009 යුද්ධය නිමාවෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණවලට හා ප්‍රජාතන්ත්‍රීය අවකාශය වර්ධනයට අමෙරිකානු ආධාර විශාල වශයෙන් යෙදවිණි.
මෙසේ අරඹන ව්‍යාපෘතිවලදී ඒවායේ සංවිධාන කාර්ය මණ්ඩලවල සිට ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් දක්වා විශාල ආර්ථිකයක් නිර්මාණය වී තිබූ අතර ආධාර කප්පාදුවකදී එය මෙකී රැකියා දාමයට ම බලපායි.
මේ නිසා ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් මේ වන විට ජගත් සංවිධාන මට්ටමින් විශාල විවේචනයක් එල්ල වෙමින් තිබේ.
අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සියලු ම එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වෙත කේබල් පණිවිඩයක් මගින් පසුගිය දා මෙම තීන්දුව දැනුම් දී තිබිණි.
ඊශ්‍රායලයට අමෙරිකාව ලබාදෙන හමුදා සහාය මෙම විධායක නියෝගයට යටත් නොවීම කැපී පෙනේ.
මේ අතර, අමෙරිකානු ජනපතිගේ විධායක නියෝග යටතේ පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 3,065 දෙනෙකු සිටින බව පවසමින් එරට ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය නිවේදනයක් නිකුත් කර ඇත.
පුද්ගලයන් 1,445,549ක් නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින බව ත් ඇතැම් රටවල්වලින් ඔවුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ නීතිමය ගැටලු නිසා ඔවුන් කඩිනමින් පිටුවහල් කළ නොහැකි බව ත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
අනවසරයෙන් අමෙරිකාව තුළ රැඳී සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් නොකරන්නේ නම් හෝ ඔවුන්ගේ සරණාගත ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම් විනිසුරුවරයෙකු විසින් ඉවත්වීමට නියෝග කරන ලද පුද්ගලයන් පිටුවහල් කිරීමට අමෙරිකාවේ ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සියට හැකියාව පවතී.
කෙසේ වෙතත්, මෙම නිවේදනයේ අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර එහි ශ්‍රී ලංකාව සඳහන් කර නොමැත.
0 Comments