ශ්‍රී ලංකාව තුල නවකවදය (Ragging) ලෙස හඳුන්වන්නේ නවකයන් හට ජේෂ්ඨයන් විසින් සිදුකරන කායික හා මානසික වධහිංසාවයි. වෙනත් විදියකින් කිවහොත් ජේෂ්ඨයන් විසින් නවකයන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන චාරිත්‍රයකි.
උසස් අධ්‍යාපන ආයතන වල නවකවදය ආරම්භ වන්නේ 18 වන සියවසේදී එංගලන්තය, අයර්ලන්තය හා නෙදර්ලන්තය වැනි යුරෝපීය රටවලය. හැබැයි ඒ ආරම්භ කල ragging හා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නවකවදය මුලුමනින්ම වෙනස් වේ.
"Rag" ලෙස හඳුන්වන්නේ සමාජ සුභසාධන අරමුණු වෙනුවෙන් ආධාර එකතුකිරීමට ඇතිකරගත් ශිෂ්‍ය සංවිධාන වේ. නවක සිසුන් උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුලත් වූ පසු, ඔවුන් වෙනුවෙන් ජේෂ්ඨ සිසුන් විසින් විශ්ව විද්‍යාල පරිපාලන අංශ වල අනුමැතිය හා සහභාගීත්වයෙන් නවක සිසු සතියක් (Rag week) පවත්වයි. එම සතිය තුල අධ්‍යාපන කටයුතු වලින් බැහැර වී, විශ්ව විද්‍යාලය පරිසරයට සමීප වෙන්න, සහෝදර හා ජේෂ්ඨ සිසුන් හඳුනාගන්න, විනෝද වෙන්න, සිය සහජ දක්ෂතා සමාජගත කරන්න හා සමාජ සුභසාධන ක්‍රියාවල නිරතවෙන්න නවක සිසුන්ට අවකාශ ලැබෙයි. නවකයන් පා ගමන් සංවිධානය කර හෝ සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට කලා ප්‍රසංග, චිත්‍ර ප්‍රදර්ශන, ක්‍රීඩා උත්සව ආදිය පවත්වා, එම වැඩසටහන් වලින් එකතු වන මුදල් සමාජ සුභසාධනය අරමුණු වෙනුවෙන් යොදවා නවක සිසු සතිය අවසන් කරයි. මේ උතුම් ක්‍රියාව වෙනස්කරමින් නවක සිසුන්ට කායික හා මානසික අඩත්තේට්ටම් කිරීමට, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලදේශය වැනි දකුණු ආසියානු රටවල් වල උසස් අධ්‍යාපන ආයතන වල නවක වදය ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව තුල නවක වදය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේය. මුලදී ඉතා සුළු වශයෙන් ආරම්භ වූ නවකවදය ඇතැම් අය "මල් සමය" ලෙසට හැඳින්වූවත් අදවන විට එය "මරු සමය" ලෙසට පත්වී ඇත. එයට හේතුව නවකවදය නවක සිසුන්ට සියදිවි හානිකරගැනීමට පවා හේතුකාරකයක් වී ඇති නිසාය.
ශ්‍රී ලංකාව තුල නවකවදය සංවිධානය කරන්නේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංවිධාන වන අතර ඒ සඳහා විශ්වවිද්‍යාල බලධාරීන්ගේ අනුමැතියක් හෝ එකඟත්වයක් නොමැත. මෙම ශිෂ්‍ය සංවිධාන පාලනය කරනු ලබන්නේ ජනතා බලයක් නොමැති, මාක්ස්වාදය මතුපිටින් පෙන්වන, අවස්ථාවාදී රතු දේශපාලන හස්තයක් විසින් වේ.
නවකවදය ආරම්භ කරමින් ජේෂ්ඨයන් විසින් පලමුව විශ්ව විද්‍යාල උප සංස්කෘතික ගැන දේශණයක් පවත්වයි. විශ්ව විද්‍යාල භාෂාවෙන් කිවහොත් තෙලක් බෙදයි. එහිදී පලමු කොන්දේසිය ලෙස කියාදෙන්නේ පවාදීම් බැහැ යන්නයි. එනම් කොතරම් නවකවදයෙන් පීඩා වින්ඳත්, විශ්වවිද්‍යාල බලධාරීන්ට පැමිණිලි කිරීමට නවක සිසුන්ව බය කරයි. මෙම නවකවදයේ නාමික අරමුණ විශ්වවිද්‍යාල උප සංස්කෘතියට හුරුකිරීම හා සිසුන් අතර බෙදීම් අඩුකර සමානාත්මතාව ඇතිකිරීම උවත්, එහි සැබෑ අරමුණ දේශපාලනික වේ.
ඉහත කී රතු දේශපාලන හස්තයේ ශිෂ්‍ය සංගම් වල සැකැස්ම ගැන අවදානය යොමු කලොත්, විශ්වවිද්‍යාල තුල තිබෙන එක් එක් පීඨ සඳහා පීඨ ශිෂ්‍ය සංගම් තිබෙන අතර, ඒවායේ එකතුවෙන් විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ගොඩනැගෙයි. සියලු ජාතික විශ්ව විද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම් වල එකතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ගොඩනැගෙයි. විශ්වවිද්‍යාල වල නවකවදය ලබා දෙන ආකාරය, දින වකවානු සමග ඉහත දේශපාලන පක්ෂය විසින් අන්තරේ දැනුවත් කරන අතර අන්තරය විසින් ඒ ඒ විශ්වවිද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම් හරහා පීඨ සංගම් දැනුවත් කරයි. පසුව ඒ ඒ පීඨ වල තෙවන හෝ සිව්වන වසරේ සිසුන් විසින් නේවාසිකාර වලට ගොස් දෙවන වසරේ සිටින සිසුන්ව රාත්‍රී කාලයේදී රැස්වීම් වලට ගෙන, නවකවදය ලබාදෙන ආකාරය සැර පරුෂ වචන වලින් කියාදෙයි. මෙකී රැස්වීම් වලට සහභාගී වන දෙවන වසරේ සිසුන්ට පමණක් නවකවදය ලබාදිය හැකි අතර බොහෝවිට එලෙස යන්නේ ආර්ථික, සමාජීය, කායික හෝ මානසික අසහනයකින් පෙලෙන සිසුන් පිරිසක් වේ. එනම් දෙවන වසරේ සිසුන්ගෙන් 5%කටත් අඩු ප්‍රමාණයකි.
මේ නවකවදය ලබාදෙන කාලවකවානුවේ සෑම නවක ශිෂ්‍යයෙක්ම කමිසය, දිග කලිසම හා සපත්තු පැලඳියයුතු අතර කමිසය යට කලයුතු අතර කලිසම් පටියක් පැලඳීම තහනම් වේ. සෑම ශිෂ්‍යයාවක්ම හැට්ටයක්, දිග සායක් හා රබර් සෙරෙප්පු පැලඳිය යුතුයි. මෙය fresh kit එක ලෙස නම්කරනු ලබයි. මෙය ඇඳන් ආවිට නවකයන් හඳුනාගැනීම පහසුවේ. මේ කාලය සෑම නවක සිසුවෙක්ටම කන්න වෙන්නෙ එකට එකතුවෙලාය. විශ්ව විද්‍යාලයේ ගීතය, නිලධාරීන්ගේ නම්, ගොඩනැගිලි වල නම්, නේවාසිකාගාර වල නම්, ආපනශාලා වල නම් නවකයන්ට කියාදෙන අතර ඒවා නැවත නැවත විමසා බැරි උනොතින් බැනුම් අසන්නට සිදු වේ. නවක සිසුන් පෝලිමට ඉන්දවා, බාගෙට පිරුන වතුර බෝතලයක් දී, වතුර කටට ගෙන නැවත වතුර බෝතලයට දමා, අතින් අත මාරුකරන්න දීම වැනි ක්‍රියාකාරකම් ද ලබාදෙයි. මීට අමතරව විවිධ කායික හා මානසික වධහිංසන නවකයන්ට සිදුකරයි. මොනව කිව්වත් බැනීම, පිරිමි ළමුන්ගේ පෞර්ෂත්වයට හා ගැහැණු ළමුන්ගේ හැදිච්චකමට අවමන් කිරීම, දණගැස්සවීම, වෙනත් අපහසු කායික ව්‍යායායම් කෙරවීම, නේවාසිකාගාර සිටින සිසුන්ව නිරුවත්කර දිවයීම මින් සමහරක් වේ. නවකවදය අවසන් කරන්නෙ ඉතා අපිරිසිදු, පල්වෙච්ච වතුර වලින් නවකයන් නාවා වන අතර එය "බකට් වීම" ලෙස හඳුන්වයි. නවකයන්ට ලබාදෙන අවසාන දේශණයේදී කියාදෙන්නෙ රැග් වී බකට් වූ අය සැබෑ විශ්වවිද්‍යාල සිසුන් බවත්, අනිත් අය කොන් වූ අලයන් බවත් ය.
මේ නවකවදය ලබාදීම තුලින් විශ්වවිද්‍යාල සංස්කෘතියට අනුගතකිරීම හා සමානාත්මතාව හා සුහදත්වය ඇතිකිරීම නාමික අරමුණු පමණි. නවකවදය ලබාදෙන කාලසීමාව තුල, නවක සිසුන් සියලුදෙනාම ඒකරාශි කොට පවසන
"උඹලා ආමාරුවෙන් ඉගෙනගෙන තමයි මෙතන්ට ආවෙ. උඹලා දන්නවද උඹලා ගන්න උපාධියම සල්ලිවලට ලබාදෙනවා කියලා NIBN, SLIIT, SAITEM වගේ ආයතන වලින්. එතකොට උඹලාට පුලුවන්ද උපාධියට සරිලන රස්සාවක් හොයාගන්න. උඹලා කැමතිද උඹලා ගන්න උපාධිය සල්ලිදීලා ගන්නවට.. කියපල්ලා.. (හැමෝම නැහැ කියයි). හොඳයි හැම විශ්වවිද්‍යාලයකින්ම සිසුන් අද කොල්ලුපිටියට එකතුවෙනවා හවස තුනට, මේ උපාධි කඩ වලට විරුද්ධව. උඹලා ඒකට එනවද? එන්නෙ නැති උන් අත උස්සපල්ලා. ( කිසිවෙක් අත උස්සන්නේ නැත)"
නවක සිසුන් සියළු දෙනාම අකමැත්තෙන් මෙලෙස කැමැත්ත ප්‍රකාශ කරන්නෙ බය නිසාය. ඊට පෙර දවසෙ නේවාසිකාගාර වල සිටින නවක සිසුන්ව මේ ගැන දැනුවත් කර, ඔවුන් අතරින් සටන් පාඨ කීමට නායකයින් කිහිප දෙනෙකු තෝරා ගනී. ඇත්ත වශයෙන්ම කිලෝමීටර් ගාණක්, අව්වෙ පයින් ගොස් උද්ඝෝෂණ කරන්න කැමැත්තක් 99%කටම නැත. කැමැත්තෙන් පාගමන් වලට සහභාගී කරගන්නේ නම්, ඉලක්කම් දෙකේ සිසුන් ප්‍රමාණයක්වත් සහභාගී නොවේ. ඉදිරියෙන්ම ගොස් බැටන්පොළු ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර කෑමට මෙම නවක සිසුන්ට සිදුවන අතර, ඇතැම් සිසුන් අධික මහන්සිය නිසා සිහිසුන්ව ඇදවැටේ. මින් කියවෙන්නේ ප්‍රධාන පක්ෂ අරක්කු බෝතල්, මුදල් ලබාදී මිනිස්සු සිය දේශපාලන කටයුතු සඳහා ගෙන්වාගෙන සෙනග පෙන්නවා මෙන්, මෙම රතු පක්ෂද නවකවදය තුලින් අකමැත්තෙන් නවක සිසුන් ගෙන්වාගෙන සෙනග පෙන්වන බවයි.
දේශපාලන වුවමනා වලට රතු පක්ෂ සංවිධානය කරන නවකවදය ක්‍රියාත්මක කිරීමට බාර දෙන ජේෂ්ඨ සිසුන්ගේ අසහනකාරීත්වය මත නවකවදයේ පීඩාකාරීබව තීරණය වේ. නවක සිසුන්ට කායිකව, මානසිකව මෙන්ම ලිංගිකව වදහිංසා කරපු අවස්ථා ඕනෑ තරම් තිබේ. වැඩිපුරම වද හිංසා වලට ලක්වන්නේ නේවාසිකාගාර වල සිටින සිසුන් ය. මේ නවකවදය නිසා විශ්වවිද්‍යාල ගමන අතරමැද නවත්වන සිසුන් වේ. කායිකව හා මානසිකව රෝගාතූර වූ සිසුන් මෙන්ම දරාගැනීමට නොහැකිව සියදිවි හානිකර ගත් සිසුන් ද වේ. මේ නවකවදයට විරුද්ධ වීම නිසා පහර කෑ මෙන්ම මැරුම් කෑ සිසුන් ද වේ. නවකවදයට කිසිම නවක සිසුවෙක් කැමති නැත. එහෙත් නවකවදය ලබාදෙන කාලසීමාවෙන් පසුව විශ්වවිද්‍යාල තුලදීත්, ඉන් ඉවත්වූ පසුවත් නවකවදයේ ගුණ ගයන සිසුන් බොහෝය. එයට හේතුව ජේෂ්ඨයන් ලබාදුන් තෙලටත් වඩා තමා අලයෙක් නොව, නියම විශ්වවිද්‍යාල පොරක් යැයි සමාජගත කිරීමට ඇති අහිංසක ආසාවයි. එමෙන්ම නවකවදය කාලසීමාව තුල ජේෂ්ඨයන්ට බයට එක බත් එක බෙදන් කෑවට, එක විදියට ඇන්ඳට, නවකවදය ලබාදෙන කාලසීමාවෙන් පසුව තමාගේ සමාජ තත්වයට ගැලපෙන කණ්ඩායම් සමග පමණක් කටයුතු කරමින්, සිය උපන් උඩඟු ගති ප්‍රදර්ශනය කිරීම දැකිය හැක. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ පසු නවකවදය නිසා පීඩා වුන අයත්, නවකවදය ලබාදුන් අයත් ඇතිනැති පරතරය සලකාබලන ආකාරය ගැන සමාජයේ ඕනෑ තරම් උදාහරණ වේ.
විශ්වවිද්‍යාල සංස්කෘතියට හුරු කිරීමට නවකවදය අවශ්‍ය නොවේ. ඒ සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වල මෙන්, අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම සති 2ක තුල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු බළධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජේෂ්ඨ සිසුන්ගේ සහභාගීත්වයෙන් සුහදශීලී සමාරම්භක වැඩසටහනක් සංවිධානය කලයුතුයි. බලහත්කාරයෙන් සමාජවාදී මූලධර්ම වලට කිසිවෙකු හුරු කල නොහැකියි යන්න, රතු දේශපාලන බලවේග තේරුම්ගතයුතු අතර ඔවුන් තම දේශපාලන උවමනාවන් සඳහා සෙනග ගෙන්වාගැනීමට විකල්ප ක්‍රමයක් යොදාගැනීම කලයුතුය. එමෙන්ම ජනාධිපතිතුමා ඇතුළු රජය විසින් නවකවදය තහනම් කොට, අවම ලෙස වසර දෙකක්වත් සියළුම විශ්වවිද්‍යාල තුල (නේවාසිකාගාරය ඇතුළුව), පලමු මාස 3තුල පොලිස් ආරක්ෂාව නවක සිසුන්ට ලබාදිය යුතුයි. එමෙන්ම කෙනෙක් කියූ පමණින් හා තමා නියම විශ්වවිද්‍යාල සිසුවෙක් ලෙස සමාජගතවීමට, තමා අකමැත්තෙන් විඳින වේදනාව, පීඩාව අනුමත කරමින් පසුකාලීනව නවකවදය සාධාරණීකරණය කරන, සමාජ දැනුම ඉතා අල්ප උපාධිධාරීන් බිහිකරන ක්‍රමය නිසා ශ්‍රී ලංකාව එකතැන සිටිනවා යන යථාර්ථය තේරුම් ගෙන, කාටත් සවන්දෙන, එහෙත් ස්වාධීනව සිතන, විචාරශීලී උපාධිධාරියෙක් බිහිවන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර තුල ගුණාත්මක වෙනස්කම් සිදුකලයුතුය.
- යෙනුක සිසිල්චන්ද්‍ර
0 Comments