ත්‍රිත්ව පදක්කමින් ලක්මව සැරසූ අයෝමය තරුව.

පසුගිය වසරේ අගෝස්තු මස සිංගප්පූරුවේ පැවති, ලෝක ශරීර යෝග්‍යතා තරඟාවලියේ, තරඟ 3කම , තුන්වන ස්ථාන දිනාගැනීමට, ශ්‍රී ලංකාවේ ජයරුක්ෂි සමන්කුල ක්‍රීඩිකාව සමත් විය. ඇය සමග පිලිසඳරක නිරතවීමට අපට හැකිවිය. 

*ඔබේ  සම්පූර්ණ නම?

සමන්කුල ජෝතිරත්නගේ ජයරුක්ෂි හසප්‍රියතා සමන්කුල.

*ඔබේ  උපන්දිනය හා උපන්ගම  සඳහන් කලොත්?

මම  ඉපදුනේ 1991 වසරේ  මැයි මස 27 වන දින.  මම ඉපදුන දා ඉඳලා, විවාහ වනතුරුම හිටියේ රාගම. 

* ඔබගේ මාපියන්, සහෝදර සහෝදරියන්ගේ තොරතුරු කොහොමද?

මගේ තාත්තාගේ නම සුනිල් සමන්කුල. එයා පෞද්ගලික අංශයේ අපනයන-ආනයන කළමනාකරුවකු ලෙස සේවය කරලා, දැන්  විශ්‍රාමිකයි. නමින් පද්මා ජයන්‍ති වන මගේ අම්මා ගෘහණියකි. අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අයියා රුචින් සමන්කුල, අපේ පවුලේ වැඩිමලා. එයා විවාහකයි. අයියාත් තාත්තා වගේම පෞද්ගලික අංශයේ අපනයන-ආනයන කළමනාකරුවකු ලෙස කටයුතු කරනවා. දෙවෙනියා මම. තුන්වැනියා මල්ලී. එයාගේ නම සමුදිත් සමන්කුලා. 2018 වසරේදී අනපේක්ෂිත විදියට එයා ජීවිතයෙන් සමුගත්තා. බාලයා නංගී. එයාගේ නම කවිෂ්නි  සමන්කුල. කළමනාකරණය අංශයේ උපාධිධාරීනියක් වන ඇය, මේ වනවිට ව්‍යාපෘති සම්බන්ධීකරණ රැකියාවක නිරතවනවා.

* ඔබේ අධ්‍යාපන කටයුතු ගැන සඳහන් කලොත්?

මම ප්‍රාථමික පාසල් අධ්‍යාපනය වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයෙන් හදාරලා, පසුව වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන් උසස්පෙල වනතුරු ඉගෙනුම් කටයුතු කලා. වානිජ අංශයෙන් 2010 වර්ෂයේදී උසස් පෙල විභාගයට පෙනී ඉඳලා B සාමාර්ථයක් හා C සාමාර්ථ 2ක් ගත්තා. ඊට පසුව 2011 වසරේදී IDM ආයතනයේ International Computer Driving License ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා.

* පාසල් සමයේ ඔබ ක්‍රීඩා දිවිය ගැන කතා කලොත්?

ඔව්. මම ක්‍රීඩාවක් විදියට කරාතේ ක්‍රීඩාව දුඹුරු පටියක් දක්වා හැදෑරුවා. ඒ වගේම මලල ක්‍රීඩා කිහිපයක්ම කලා. 

* උසස්පෙලින් පසු ඔබ රැකියා වල නිරත උනාද?

2011 වසරේ සිට 2012 වසර දක්වා ගිණුම් සහායකවරයෙක් ලෙස පෞද්ගලික සමූහ ව්‍යාපාරයක සේවය කලා. 2012 සිට 2013 දක්වා NTB බැංකුවේ බැංකු සහායකවරියක් ලෙස කටයුතු කරලා, විවාහ වෙලා විදේශගත වෙන්න සැලසුම් කල නිසා, රැකියා දිවියට තිත තිබ්බා.

* ඔබේ ජීවන සහකරු හා විවාහ දිවිය ගැන විස්තර කලොත්?

මම 2014 වර්ෂයේ ගුවන්‍ යානා තාක්ෂනික නිළධාරීවරයෙක් වන දිනේශ් ජයසූරිය සමග විවාහ උනා. එයා සේවය කරන්නේ Emirates ආයතනයේ නිසා, 2014 වර්ෂයේදීම අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විදේශගත වෙලා, අදවන තුරු සතුටුදායක විවාහ දිවියක් ගතකරනවා.

* ඔබ කායවර්ධනට යොමුවෙලා, මේ දක්වා පැමිණ ගමන් මග විග්‍රහ කරන්න පුලුවන්ද?

 2018 වසරේ මගේ මල්ලීගේ මරණයත් එක්ක අපි ඔක්කොම ගොඩාක් මානසිකව වැටුනා. මම ගෙදර අයත් එක්ක ලොකු කාලයක් ලංකාවේ හිටියා. ඒ කාලෙදී මම කඩවත තියෙන Olympia කියන Gym එකට ගියා. එතනදී ඉන්දික හා විරාජ් කියන පුහුණුකරුවන්ගේ සහයෙන්, මේ කායවර්ධනයෙන් පැමිණි ගමනට අත්පොත් තැබුවා.  එතනින් පසු, මම නැවතත් ඩුබායි ගියාට පස්සේ ශරීර සමබරතාව ආරක්ෂා කරගැනීමට එහේ තියෙන Gym කිහිපයකට ගියා. සමාජ මාධ්‍ය හරහා, 2023 වර්ෂයේ මාර්තු මාසයේදී,  මෑතකාලීනව ලාංකික කායවර්ධන ජයග්‍රාහකයින් බොහෝ දෙනා බිහිකල හර්ෂ් පීරිස් ව හමු උනා. පසුව එයා මට යෝජනා කලා කායවර්ධනට යොමුවෙන්න කියලා. මම එයාව මගේ පුහුණුකරු ලෙස තෝරාගත්තා. මගේ මහන්සිය වගේම එයාගේ ගුරුහරුකම් වල ප්‍රතිඵලයක් විදියට තමයි මාස තුනක කෙටි පුහුණුවකින්, මේ වගේ ජයග්‍රහණයක් ලබන්න පුලුවන් උනේ.

* ඔබ සහභාගි වූ තරඟාවලිය හා ජයග්‍රහ විස්තර කලොත්

අගෝස්තු 18 හා 19 යන දිනවල සිංගප්පූරුවේ පැවති, රටවල් 15කට අධික ප්‍රමාණයකින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ FIF WORLD CHAMPIONSHIP 2023 (FITNESS INTERNATIONAL FEDERATION) තරඟාවලියේ, තරඟ 3කම , තුන්වන ස්ථාන දිනාගැනීමට මට පුලුවන් උනා. එම තරඟ ඉසව් වන්නේ "Sport Model open", "Lifestyle Model over 30" හා "Lifestyle Model open" වේ.

* මේ ජයග්‍රහණය පිටුපස ඇති කැපකිරීම් මොනවාද?

අපේ නිවසේ ඉඳලා, හර්ෂ් ගේ Gym එකට යන්න පැය 2ක් යනවා. එතකොට එතන්ට යන්න,මම මුලින් බස් එකේ ගිහින්, ීටප් ඊටපසු metro දුම්රියක ගිහින් ආපසු කුලීරථයක යනවා. යන්න එන්න පාරටම පැය 4ක් ගියා. ඒවගේම Gym එකේ workout කරන්න පැය 2ක් වගේ යනවා. දවසෙන් බාගයක් ඉවරයි. ඒ වගේම කෑම සෑහෙන පාලනය කලා. ප්‍රෝටීන් ගත්තා. අන්තිම  දවස් කිහිපයේ වතුර පවා නොබී හිටියා. හර්ෂ් ගේ සැලැස්මට අනුව ඒ කරපු කැපකිරීම් වල ප්‍රතිඵලයක් තිබුනා. ඒ ගැන සතුටුයි.

* ඔබට මේ සඳහා අතහිත දුන්න අය කවුද?

මේ ක්‍රීඩාව මට යෝජනා කලේත්, මේ තරඟාවලිය මට නිර්දේශ කලෙත්, මේ මාස 3ක් ඇතුලත තාක්ෂණික පුහුණුව වගේම ජයග්‍රහණය සඳහා කැපවීම හා උනන්දුව ඇතිකලෙත් මගේ පුහුණුකරු හර්ෂ් පීරිස්. එයා තමයි මේ ජයග්‍රහණයේ සම අයිතිකරු. මේ සඳහා මට විශාල මුදලක් වියදම් උනා. ඒ බරපැන දැරුවෙ මගේ සැමියා සහ මගේ තාත්තාගේ නංගී වන ධම්මිකා නැන්දා. ඒ වගේම මගේ දෙමව්පිය දෙපල, අයියා, නංගී ඇතුලු පවුලේ අයගෙන් ලද සහයෝගයත් සිහිපත් කරන්න කැමතියි.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ තාත්තා කුඩාකල සිටම මට උගන්වපු දෙය තමයි ආත්ම විශ්වාසයකින්, ස්වාධීනව වැඩකරන හැටි. මම හිතාගත්තා, අනිත් අයගේ මූල්‍ය දායකත්වය ඇතිව කරපු පලමු හා අවසාන  තරඟාවලිය බවට මේ තරඟාවලිය පත්කරන්න. ශරීර යෝග්‍යතා පුහුණුකාරීත්වය පිලිබඳ REPS 3 සුදුසකම, ඩුබායි වලදී දිනාගෙන, ලංකාවේ කාන්තාවන් සඳහා Gym එකක් දාන්නත්, පූර්ණකාලීන ශරීර යෝග්‍යතා පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.  ඒ වගේම සංස්කෘතික හා ආර්ථික හේතු නිසා යටපත් වෙලාතියෙන කාන්තා කායවර්ධන, අපේ ලංකාවේ ප්‍රවර්ධනය කරන්නත් සැලැස්මක් තියෙනවා. ඒ වගේම කායවර්ධනයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ පෞද්ගලිකව දිනාදෙන්නත්, හර්ෂ්ගෙන් මමලත් සහාය, නවකයන්ට ලබාදෙමින් ජාත්‍යන්තර ජයග්‍රහකයින් බිහිකරන්නත් සිහිනයක් මට තියෙනවා.

සටහන - යෙනුක සිසිල්චන්ද්‍ර

#1.  


#2. 

#3. 

#4. 

#5. 


තව කියවන්න

Post a Comment

0 Comments